ශ්‍රී ලංකා‌වේ වියලි හා තෙත් කලාපීය දේශගුණික තත්ත්වයන් යටතේ වගා කළ හැකි නව පලතුරු විශේෂයක්

Share

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාවේ වියලි හා තෙත් කලාපීය දේශගුණික තත්ත්වයන් යටතේ වගා කළ හැකි නව පලතුරු විශේෂයක් හඳුන්වා දී තිබේ. දැනටමත් මෙම පලතුරු භෝගය අගුනකොළපැලැස්ස එරමිනියාය ගොවිපළෙහි සාර්ථකව වගා කිරීමට පියවර ගෙන ඇත.

ගැක් පෘට් (GAC Fruit) වශයෙන් හඳුන්වන මෙම පලතුරු විශේෂය කැරට්වලට වඩා දශ ගුණයකින් කැරටිනොයිඩ්ස් හා විටමින් ඒ අඩංගු වන බව කෘෂි විශේෂඥයින් පවසයි.

මෙම පලතුරු විශේෂය Sweet Gourd- Momordica Cochinchinensis නැමැති උද්භිද විද්‍යා නාමයෙන් හඳුන්වයි.

මෙම පලතුරු විශේෂයේ ඇති සුවිශේෂත්වය වන්නේ ළපටි ඵල එලවළුවක් වශයෙනුත්, ඉදුනු ඵල පලතුරක් වශයෙන්ද, මෙම පලතුරෙහි පත්‍ර කොළ එලවලුවක් ලෙසත් භාවිතා කළ හැකිවීමයි.

එමෙන්ම මෙම පලතුර භාවිතා කරමින් විවිධ ආහාර හා පානවර්ග සකස් කර ගත හැකිවේ. විශේෂයෙන් Dry Arill, තෙල්, පලතුරු යුෂ, ජෑම් හා විටමින් සහිත කැප්සුල් වශයෙන් ද සකස් කර භාවිතා කළ හැකිය.

ගැක් පලතුරෙහි ඇති වැදගත්කම අතර කැරටිනොයිඩ්ස් වැඩිම ප්‍රතිශතයක් අන්තර්ගතවීම මෙන්ම, ප්‍රෝ විටමින් ඒ,බීටා කැරටින්, ලයිකොපේන් වැනි මිනිස් සිරුරට අත්‍යාවශ්‍ය පෝෂණ පදාර්ථ රැසක් මෙම පලතුරෙහි අන්තර්ගත වේ.

පසුගියදා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අගුනකොළපැලැස්ස එරමිනියාය කෘෂි පර්යේෂණ මධ්‍යස්ථානයේ පැවැති වැඩසටහන් කිහිපයකට සහභාගි වු අතර එහිදී මෙම පලතුර වගා කර ඇති ආකාරය නිරීක්ෂණය කළේය.

Read more

Local News