උතුරු පළාතට අපනයනය සදහා මත්ස්‍ය වගා කර්මාන්ත පුරයක්

Share

අපනයනය සදහා මත්ස්‍ය වගා කර්මාන්ත පුරයක් උතුරු පළාතේ පිහිටුවීම සඳහා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ඉන්දීය ආයෝජකයින් පිරිසක් සමඟ විශේෂ සාකච්ජාවක් ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරියේදී පැවැත්විණි.

මෙහිදී එම ආයෝජකයින් පැවසුවේ, ඇමරිකාව ඇතුළු රටවලට අපනයනය සඳහා ලෝකයේ වැඩිම ඉල්ලුමක් ඇති ඉස්සන්, කකුළුවන් ඇතුළු මත්ස්‍යයින් වගා කිරීම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 7. 5 ක ආයෝජනයක් කිරීමට තමන් කැමැත්තෙන් පසුවන බවය.

එම මත්ස්‍ය වගා සහ නිෂ්පාදන කර්මාන්ත පුරය අක්කර 500 ක භුමි ප්‍රදේශයක් පුරා ව්‍යාප්ත වනු ඇත. එමගින් නව රැකියා 800 ක් සහ වක්‍ර රැකියා 2000 කට අධික ප්‍රමාණයක් නිර්මාණය කිරීමට සැලසුම් කර තිබේ .

මෙම ආයෝජනය සදහා වන ව්‍යාපෘති වාර්තාව සතියක් ඇතුළත රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා වෙත ඉදිරිපත් කිරීමට අදාළ ආයෝජකයින් කැමැත්ත පළකළහ.

ඒ අනුව මෙම මත්ස්‍ය වගාව සහ නිෂ්පාදන කර්මාන්ත පුරය සදහා සුදුසු ප්‍රදේශයක් උතුරු සහ දකුණු පළාත් ආශ්‍රිතව හදුනාගැනීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස ඒ අවස්ථාවේදීම ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරියට උපදෙස් දුන් රාජ්‍ය අමාත්‍යවරයා, අදාළ ව්‍යාපෘති වාර්තාව ලැබුණු වහාම එය අතිගරු ජනාධිපතිතුමාට සහ ගරු අග්‍රාමාත්‍යතුමාට ඉදිරිපත් කර රජයෙන් ලබාදිය හැකි සහාය ලබාදීමට කටයුතු කරන බව ද පැවසිය.

මෙවැනි ආයෝජන රටට අත්‍යවශ්‍ය බව මෙහිදී පෙන්වාදුන් රාජ්‍ය අමාත්‍යවරයා, එවැනි ආයෝජකයින් තව තවත් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම වෙනුවෙන් කටයුතු කරන බවත් එමගින් රජයේ නව ආර්ථික වැඩපිළිවෙල යතාර්ථයක් කිරීමට ධීවර ක්ෂේත්‍රයට ප්‍රමුඛ කාර්යභාරයක් පැවරී ඇති බවත් සදහන් කළේය.

Read more

Local News