යල කන්නයේ වී අස්වනු මිල දී ගැනීම අම්පාර දිස්ත්‍රික්කය‌ෙ‌න් අද ආරම්භ ව‌ෙයි

Share

2018 යල කන්නයේ වී අස්වනු මිල දී ගැනීමේ කටයුතු අද (04) පෙරවරු 10.00ට අම්පාර දිස්ත්‍රික්කයේ උහන, කොහොඹාන ගම්මානයෙන් ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව 2018 යල කන්නයේ වී අස්වනු නෙලීම මේ වනවිට නැගෙනහිර පළාතෙන් ආරම්භ වී තිබෙන නිසා එම ගොවීන්ගේ වී අස්වනු මිල දී ගැනීම ප්‍රථමයෙන්ම ආරම්භ කිරීමට වී අලෙවි මණ්ඩලය තීරණය කොට ඇත.
නාඩු කි.ග්‍රෑ. 01 ක් රු. 38 ක් සහ සම්බා වී කි.ග්‍රෑ. 01 ක් රු. 41 ක සහතික මිලක් යටතේ මිලදී ගැනීම වී අලෙවි මණ්ඩලය විසින් සිදු කරනු ලබයි.
මෙවර යල කන්නයේදී වී අලෙවි මණ්ඩලය විසින් මිල දී ගැනීමට අපේක්ෂිත වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1,20,000කි. ඒ සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන වශයෙන් රජය රු. මි. 4900ක මුදලක් පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ඉල්ලීම පරිදි අනුමත කරනු ලැබ ඇත.
ගොවීන්ගේ වී අස්වනු මිල දී ගැනීම පමණක් නොව එම වී වලින් සකස් කරන ලද සහල් PMB Rice වෙළෙඳ නාමය යටතේ සතොස ඇතුළු වෙළෙඳ සැල්වලට සහන මිලකට ජනතාවට ලබා දීමට ද කටයුතු යොදා ඇත. මෙවැනි පියවරක් වී අලෙවි මණ්ඩලය විසින් අනුගමනය කරන්නේ ප්‍රථම වතාවට වීම විශේෂත්වයකි.
මෙවර යල කන්නයේ වී මිල දී ගැනීමේදී  වී ගෙන ඒමට අවශ්‍ය පොලි පැක් මලු ගොවීන්ට නොමිලේ ලබාදෙන අතර ගොවීන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා මින් පෙර කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන්ගේ ලිපි අවශ්‍ය වුවද මෙවර එසේ අවශ්‍ය නොවේ.
වී අස්වැන්න මිලදී ගැනීමේ දී ඇතිවන තදබදය මගහරවා ගැනීමට ළඟම පිහිටි වී මිලදී ගැනීමේ මධ්‍යස්ථානවලින් කල්තියා දිනය වෙන්කරගන්නා ලෙසද වී අලෙවි මණ්ඩලය ගොවීන්ගෙන් ඉල්ලා සිටී.

Read more

Local News