ස්විට්සර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැ‌බේ

Share

ස්විට්සර්ලන්ත අධිකරණ සහ පොලිස් කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ෆෙඩරල් මන්ත්‍රණ සභික සිමොනෙත්තා සොම්මරුගා මහත්මිය ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක නිරත විය.

මෙම සංචාරය අතරතුරදී ඇය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් හමුවිය. මෙම සංචාරයේ ප්‍රධානතම අංගය වූයේ ශ්‍රී ලංකා රජය සහ ස්විට්සර්ලන්ත ෆෙඩරල් රජය අතර සංක්‍රමණික හවුල්කාරීත්වයක් පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමයි.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී. නාවින්න මහතාද ස්විට්සර්ලන්ත ෆෙඩරල් කවුන්සිලය වෙනුවෙන් ෆෙඩරල් මන්ත්‍රණ සභික සිමොනෙත්තා සොම්මරුගා මහත්මියද අත්සන් තබන ලද මෙම අවබෝධතා ගිවිසුම මගින් දෙරටටම වාසිදායක, සංක්‍රමණය පිළිබඳ විධිමත් හා නිරන්තර සංවාදයක් මෙන්ම පොදු චින්තන ක්‍රියාදාමයක් පිහිටුවීමට ඉඩකඩ සැලසේ.

දෙරටේ නියෝජිත පිරිස් අතර සාකච්ඡා අගෝස්තු 06 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැති අතර වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය වසන්ත සේනානායක මහතා ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායකත්වය දැරීය. ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කිරීමට, සංහිඳියාව ඉදිරියට ගෙනයෑමට සහ ආර්ථික සංවර්ධනය ළඟාකර ගැනීමට ශ්‍රී ලංකාව විසින් ගනු ලබන පියවර මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව සමඟ ශ්‍රී ලංකාව පවත්වන ක්‍රියාකාරී සහ ප්‍රගතිශීලී සහසම්බන්ධතාව ඇතුළු කරුණු පරාසයක් මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරිණි. විදේශ කටයුතු ලේකම් ප්‍රසාද් කාරියවසම් මහතාද, විදේශ කටයුතු අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක  නිලධාරීහූද වැඩබලන විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර ෆෙඩරල් මන්ත්‍රණ සභික සොම්මරුගා මහත්මිය නැගෙනහිර පළාතේ ස්විට්සර්ලන්ත සහය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති නැරඹීමටද ගියාය.

Read more

Local News