නැගෙනහිර විශ්වවිද්‍යාලයේ නව ව්‍යවහාරික විද්‍යාපීඨ ගොඩනැගිල්ල ජනපති අතින් සිසු අයිතියට

Share

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ති‍්‍රකුණාමල මණ්ඩපයේ අභිනවයෙන් ඉදිකරන ලද ව්‍යවහාරික විද්‍යාපීඨ ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීම සහ නව සංවිධිත ශ‍්‍රවණාගාර ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

සමරු ඵලකය නිරාවරණය කර නව ව්‍යවහාරික විද්‍යාපීඨ ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා නව සංවිධිත ශ‍්‍රවණාගාර ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්විය.

සියලු පහසුකම්වලින් සමන්විතව ඉදිකර තිබෙන ව්‍යවහාරික විද්‍යා පීඨ ගොඩනැගිල්ල සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 410 කි. එමෙන්ම වැඩ ආරම්භ කළ සංවිධිත ශ‍්‍රවණාගාර ගොඩනැගිල්ල සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 784 කි.

රටේ රාජ්‍ය විශ්විවිද්‍යාල පද්ධතියෙහි පවතින නේවාසිකාගාර සහ අනෙකුත් ගොඩනැගිලි හිඟකමට විසඳුම් දෙමින් සියලු විශ්වවිද්‍යාල හා පීඨ ආවරණය වන පරිදි ගොඩනැගිලි පහසුකම් ලබාදීමේ ව්‍යාපෘතියක් 2015 වසරේදී උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අරඹන ලදී.

එම ව්‍යාපෘතිය යටතේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඉදිකිරීමට යෝජිත සමස්ත ගොඩනැගිලි ප‍්‍රමාණය 162 ක් වන අතර ඒවායේ ඉදිකිරීම් මේ වන විට බොහෝ දුරට සම්පූර්ණ කොට ඇත. එම ඉදිකිරීම් වෙනුවෙන් රජය වැය කරන මුදල රුපියල් මිලියන 88,964 ක් වන අතර දැනට මෙම මුදල්වලින් සියයට 86 කට වැඩි ප‍්‍රමාණයක් නිදහස් කර තිබේ.

මෙම ව්‍යාපෘතිය යටතේ විශ්වවිද්‍යාල සහ අනුබද්ධ පීඨ වෙත ලබාදීමට සැලසුම් කෙරෙන නේවාසිකාගාර ප‍්‍රමාණය 84 ක් වන අතර එම නේවාසිකාගාර මගින් නවාතැන් පහසුකම් සැපයෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ප‍්‍රමාණය 33,600 කි. මෙම නේවාසිකාගාර වලින් 78 ක ඉදිකිරීම් මේ වන විට සම්පූර්ණ කොට ඇත.

Read more

Local News