ගුරුවරුන්ගේ පහසුකම් හා වරප්‍රසාද ඉහළ නැංවීමට මිස පහළ දැමීමට තමා කිසිවිටකත් කටයුතු කරන්න‌ේ නැහැ – අධ්‍යාපන ඇමති

Share

නිවාඩු කාලවලදී ගුරුවරුන්ගේ වැටුප් නතර කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා පියවර ගැනීමට සූදානම් වන බව දක්වමින් සමාජ ජාල මාධ්‍යවල සහ වෙබ් අඩවි කිහිපයක පල වී තිබූ අසත්‍ය පුවත පිළිබද නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (17) විශේෂ මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් සදහන් කළේය.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ දරුවන් වෙනුවෙන් දහසක් කැපකිරීම් සිදුකරන ගුරුවරුන්ගේ පහසුකම් හා වරප්‍රසාද ඉහළ නැංවීමට මිස පහළ දැමීමට තමා කිසිවිටකත් කටයුතු නොකරන බවයි.
වත්මන් රජය විසින් ගුරුවරුන් ඇතුළු රජයේ සේවකයින්ගේ වැටුප රු. 10,000 කින් ඉහල දැමීමට පියවර ගත් බවත්  විදුහල්පතිවරුන් සඳහා ලබාදෙන දීමනාව රු.750 සිට 6,500 දක්වා ඉහල නැංවීමට තමා පියවර ගත් බවත් අමාත්‍යවරයා සදහන් කරයි.
එමෙන්ම විභාග රාජකාරිවල නිරත ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ගේ දීමනා ඉහල දැමීමට පියවර ගන්නා ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇති බව ද පෙන්වාදුන් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති දැවැන්ත ව්‍යාපෘතින් මෙන්ම ඒ හරහා අත්වන ප්‍රගතිය පිළිබඳ ද්වේශ සහගතව දකින කණ්ඩායම් පටු මඩ දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරමින් තමා සහ අමාත්‍යාංශය අපහසුතාවට පත්කිරීම සඳහා දේශපාලන මඩ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරමින් සිටින බව ද පැවසීය.

Read more

Local News