කැලණි ගඟ වේල්ල ඇතුළත පදිංචිකරුන්ට මහල් නිවාස ලබාදීමට ඉඩම් වෙන් කිරීමට පියවර

Share

කැලණි ගඟ වේල්ල ඇතුළත පදිංචි අනවසර පදිංචිකරුවන් සඳහා විසඳුමක් ලෙස මහල් නිවාස ලබාදීමට සුදුසු ඉඩම් වෙන් කිරීමට රජය පියවර ගෙන ඇති අතර කැලණි ගඟ වේල්ල ආරක්ෂා කර ගැනීම ප්‍රමුඛ අවශ්‍යතාවක්ව පවතින බැවින් මෙම පියවර ගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පැවසීය.

වේල්ල ඇතුළත රක්ෂිතයෙහි අනවසර පදිංචිකරුවන් හට විකල්ප ස්ථානයන්හි පදිංචි කරවීමට සුදුසු ඉඩම් වෙන් කිරීම සඳහා, කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් යෝග්‍යතා වාර්තාවක් සකස් කොට ඇත. කැලණි ගඟ වේල්ල ඇතුළත හා ගඟ ආශ්‍රිතව නිවාස 1033ක් පවතින අතර මින් අනවසර නිවාස 588ක් වන බව එම වාර්තාව මගින් පෙන්වා දී ඇතැයි ද දිසාපතිවරයා සඳහන් කළේය.

එම වාර්තාව මගින් පෙන්වා දී ඇති ආකාරයට කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි කැලණි ගඟ වේල්ල ඇතුළත සහ ගඟ ආශ්‍රිතව ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් මේ වන විට නිවාස ඉදිකොට ඇත්තේ කැලණිය, සිංහාරමුල්ල, පිලපිටිය, මෑවැල්ල, පෙතියගොඩ,පට්ටිය නැගෙනහිර, පට්ටිය බටහිර, පට්ටිය උතුර, පෑලියගොඩ ගඟබඩ සහ පෑලියගොඩ වත්ත යන ප්‍රදේශයන්ය.

එම වාර්තාවට අනුව ගඟෙහි වේල්ල ඇතුළත පදිංචිකරුවන් වෙනුවෙන් ලබා දිය හැකි වඩාත් උචිත විසඳුම් ලෙස යෝජනා කොට ඇත්තේ දැනට වතු නිවාස ලෙස පවතින භූමියන්හි මහල් නිවාස ඉදිකිරීම සුදුසු වන බවය.

Read more

Local News