ජපාන ආරක්ෂක අමාත්‍යවරයා අද ජනපති හමුව‌ෙයි

Share

ජපානය සහ ශ‍්‍රී ලංකාව අතර පවතින සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබද අවධානය යොමු වෙයි.

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ජපාන ආරක්ෂක අමාත්‍ය ඉට්සුනොරි ඔනොඬේරා මහතා සහ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතර හමුව අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවට ලක් විය.

ජපාන ආරක්ෂක අමාත්‍යවරයකු මෙරට සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක් වන අතර, ජනාධිපතිතුමා විසින් ජපාන ආරක්ෂක අමාත්‍යවරයා ඉතා සුහදශීලිව පිළිගනු ලැබී ය.

ජනාධිපතිතුමාගේ පසුගිය ජපාන රාජ්‍ය සංචාරයේ දී ඇතිකරගත් එකඟතා කි‍්‍රයාවට නැංවීමේ ප‍්‍රගතිය සමාලෝචනය කිරීම මෙහිදී සිදු කෙරුණු අතර, ශ‍්‍රී ලංකාව සහ ජපානය අතර සබඳතා තවදුරටත් පුළුල් කර ගනිමින් දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව ද වර්ධනය කර ගැනීම පිළිබඳ අවධානය යොමු කෙරිණි.

ඒ යටතේ සමුද්‍රිය ආරක්ෂක සහයෝගිතාවය ශක්තිමත් කර ගැනීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු වනු ඇති.
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ජපාන අග‍්‍රාමාත්‍ය සින්ෂෝ අබේ මහතා අතර පැවති සාකච්ඡාවල ප‍්‍රතිඵලයක් ලෙස ලංකාවේ වෙරළ ආරක්ෂක කටයුතු සඳහා බිලියන 1.8 ක් වටිනා වෙරළාරක්ෂක යාත‍්‍රා දෙකක් ලබාදීමට පසුගියදා ජපාන රජය පියවර ගත් අතර, ඒ පිළිබඳ ආරක්ෂක අමාත්‍යවරයා වෙත ස්තූතිය පළ කිරීමට ද ජනාධිපතිතුමා මෙය අවස්ථාවක් කර ගත්තේ ය.

ජපාන ආරක්ෂක අමාත්‍යවරයා සිය දෙදින සංචාරය තුළදී හම්බන්තොට සහ ති‍්‍රකුණාමල වරායන්හි ද සංචාරය කිරීමට නියමිත අතර ඒ පිළිබඳ සිය සතුට පළ කළ ජනාධිපතිතුමා, සමුද්‍රිය ආරක්ෂාව පිළිබඳ දෙරට අතර කි‍්‍රයාත්මක වැඩසටහන් මගින් ඉදිරියේ දී දෙරට අතර එම සහයෝගිතාව තවදුරටත් වර්ධනය වනු ඇති බවට විශ්වාසය පළ කළේය.

Read more

Local News