මෙරට ගොවීන්ට මහකන්නයේ සිට හෙක්ටෙයාර් එකකට රු.18,000ක මුදලක්

Share

මෙරට ජනතාවට වසවිසෙන් තොර ආහාරපාන ලබා දීම සඳහා හඳුන්වා දෙන ලද කාබනික ගොවිතැනෙහි නිරතවන ගොවි ජනතාවට මෙතෙක් රජයන් විසින් ලබා නොදුන් සහන රැසක් ලබා දීමට වත්මන් රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

රසායනික පොහොර භාවිතා කරමින් වගා කටයුතු වල නිරත වන ගොවීන්ට වී වගාව සඳහා යුරියා පොහොර රු. 500කටත්, සෙසු වගාවන් සඳහා රු. 1500කටත් පොහොර සහනාධාරයක් වශයෙන් ලබා දෙයි. එහෙත් කාබනික වගාවේ යෙදෙන ගොවි ජනතාවට ඔවුන් දිරිගැන්වීම සඳහා කිසිදු සහනයක් මෙතෙක් පැවැති රජයන් විසින් ලබා දී නැත.

එමනිසා මීලග මහ කන්නයේ සිට කාබනික වගාවේ යෙදෙන මෙරට ගොවීන්ට රු. 18,000ක මුදලක් හෙක්ටෙයාර් එකකට කාබනික පොහොර මිල දී ගැනීම සඳහා මුල්‍ය ප්‍රතිපාදන වශයෙන් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පියවර ගන්නා බවත් ඊට අදාල අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මේ වනවිට සකස් කර අවසන් බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.

මෙහිදී වැඩිදුරටත් කියා සිටි අමාත්‍යවරයා සෑම කෙනෙකුටම කාබනික වගාවට දායකත්වය ලබා දිය නොහැකි වුවත් අධික ලෙස රසායනික පොහොර හා කෘමිනාශක ඉවක් බවත් නැතිව යෙදීම මගින් මේ වන විට අපේ රටේ පස නිසරුවීමේ අවදානමකට රට මුහුණ පා සිටින බවයි. දැනට අප රටේ කාබනික වී වගාවේ වගාකරුවන් 5000ක් නියැලී සිටිති.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විද්‍යාඥයින් විසින් සිදු කරන ලද පාංශු පරීක්ෂා කිරීම් වල දී පැහැදිළිවම හෙළිදරව් වී තිබෙන්නේ අප රටේ බොහෝ ප්‍රදේශවල පසෙහි අවශ්‍ය තරම් පොස්පරස් හා පොටෑසියම් පවතින බවයි. එමනිසා අමුතුවෙන් වැඩිපුර රසායනික පොහොර යෙදීමෙන් පළක් නැත. අවශ්‍ය වන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන නිර්දේශ අනුව කාබනික පොහොර මෙන්ම රසායනික පොහොර ද යෙදීමයි.

Read more

Local News