අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ ජාත්‍යන්තර දිනය අද සැමරේ

Share

අතුරදන් වූ තැනැන්තන් පිළිබඳ ජාත්‍යන්තර දිනය සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ අතුරුදන් වූ තැනැන්තන් පිළිබඳ කාර්යාලය විසින් විශේෂ වැඩසටහනක් අද (30) කොළඹ 07 ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයේදී පස්වරු 3.00ට පැවැත්වෙන බව අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පවසයි.

මේ වෙනුවෙන් අතුරුදන් වූවන්ගේ ලේකම් කාර්යාලයෙන් සංවිධානය කරන විශේෂ පා ගමන නෙළුම් පොකුණ වටරවුමෙන් ආරම්භ වී ජේ. ආර්. ජයවර්ධන කේන්ද්‍රය දක්වා ගමන් කෙරේ. මෙම සැමරුම් දිනය වෙනුවෙන් විශේෂ දේශන කිහිපයක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත. මෙම වැඩසටහන සඳහා විශේෂ ආරාධිතයන් ලෙස අතුරුදන් වූවන්ගේ පවුල්වල සමාජිකයින්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් හා මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් සහභාගිවීමට නියමිතය.

2018 පෙබරවාරී මස18 වැනි දින ස්ථාපිත කරන ලද අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල සිය රාජකාරී කටයුතු ආරම්භ කර ඇත. ඒ යටතේ දැනට පවතින දත්ත රැස් කිරීම හා වාර්තාගත කිරීම, යෝග්‍ය ව්‍යුහය හා ක්‍රියාවලීන් සැලසුම් කිරීම හා ස්ථාපිත කිරීම, අදාළ කාර්ය මණ්ඩල බඳවා ගැනීම, විවිධ රාජ්‍ය නියෝජිත ආයතන වෙතින් අනුමැතිය ලබා ගැනීම, සංවිධාන හා අතුරුදන් වූවන්ගේ තොරතුරු ප්‍රාදේශිය මට්ටමින් ලබාදීම යන කරුණු පිළිබද විශේෂ අවධානයක් යොමු කර තිබේ.

අතරුදන් වූ පුද්ගලයන් සෙවීම, සිටින ස්ථාන හඳුනා ගැනීම හා අදාළ අවස්ථාවන් පැහැදිලි කිරීම, අතුරුදන් වූ පුද්ගලයන්ගේ හා ඔවුන්ගේ ඥාතීන්ගේ හිමිකම් හා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ඒ සඳහා පිළියම් ලබාදීම, එවැනි තත්ත්වයන් නැවත ඇති නොවීම සඳහා අදාළ නිලධාරීන් වෙත නිර්දේශ කිරීම මෙම කාර්යාලය ප්‍රධාන කාර්යභාරය වේ.

එවැනි ආකාරයට අතුරුදන් වූවන් පිළිබඳ පැමිණිලි ලිඛිතව හෝ වාචිකව යන දෙයාකාරයකින් ඉදිරිපත් කළ හැක. වීඩියෝ මාධ්‍ය භාවිතා කරමින් ද පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව පවසන ලේකම් කාර්යාලය එසේ පැමිණිලි ඉදිරිපත් කරන්නන්ගේ රාහස්‍ය භාවය පුද්ගලික තොරතුරු ආරක්ෂාව තහවුරු කෙරෙන බව පවසයි.

අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ නිල සංඛ්‍යාවක් ඉදිරිපත් වී නොමැති බව පෙන්වා දෙන එම ලේකම් කාර්යාලය පසුගිය කාල පරිච්ජේදයේ සිදු වූ අතුරුදන් වීම් පිළිබඳව පරණගම කොමිසම් සභාව විසින් පැමිණිලි 21,000ට ආසන්න ප්‍රමාණයක් වාර්තා කර ඇති අතර ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය මීට අදාළ පැමිණිලි 16,000ක් වාර්තා කර ඇතැයි පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශය මත ජනාධිපතිතුමන් විසින් මෙම කාර්යාලයට සභාපතිවරයා ඇතුළු සමාජිකයන් 7 දෙනෙකු පත් කරනු ලබයි.

Read more

Local News