අතුරුදහන් වූවන්ගේ කාර්යාල වාර්තාවේ නිර්දේශ කි‍්‍රයාත්මක කිරීමට කැබිනට් අනුකමිටුවක් – ජනපති

Share

අතුරුදහන්වූවන් පිළිබඳ සොයා බැලීමට ස්ථාපිත කළ කාර්යාලයේ අතුරු වාර්තාවේ නිර්දේශ ක්‍රියාවට නැංවීම වෙනුවෙන් ඉදිරියේ දී කැබිනට් අනුකමිටුවක් පත් කිරීමට කටයුතු කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

අතුරුදන්වූවන්ගේ පවුල්වල ඥාතීන්ගේ සුබසාධනය වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට සහය ලබාදෙන ලෙස ද ශ‍්‍රී ලංකාවට සංවර්ධන ආධාර සපයන ජාත්‍යන්තර ආයතනවලින් ජනපතිවරයා ඉල්ලා සිටියේය.එම ආයතනවල නියෝජිතයන් හා ජනපතිවරයා අතර පැවැති සාකච්ඡාවකදී ජනපතිවරයා මේ බව සඳහන් කළේය.

යුද්ධය හේතුවෙන් විනාශයට පත් වූ උතුරු නැගෙනහිර ප‍්‍රදේශ සංවර්ධනය කරා ගෙන යමින් එම ජනතාවට ද සංවර්ධන අයිතින් ලබාදීම වෙනුවෙන් රජය ප‍්‍රමුඛ අවධානයක් යොමු කරමින් කටයුතු කරන බවත් එම ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය උදෙසා රජය ගෙන යන වැඩපිළිවෙළේදී තවදුරටත් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනවල සහය අපේක්ෂා කරන බවත් ජනපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Read more

Local News