ඓතිහාසික ඇසළ මහා පෙරහැර සාර්ථකව නිම කළ බවට සංදේශය සාම්ප‍්‍රදායානුකූලව ජනපතිට පිළිගන්වයි

Share

ලෝකවාසී බෞද්ධ ජනතාවගේ උත්තරීතර පූජනීයත්වයට පාත‍්‍ර වූ ශ්‍රී ලංකා රාජ්‍යත්වයේ මුදුන් මල්කඩ ලෙස සලකන මහනුවර ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ උදෙසා නොකඩවා පවත්වන වාර්ෂික ඇසළ මහ පෙරහැර මෙවර ද උත්කර්ෂවත් අන්දමින් පවත්වා එය සාර්ථකව නිමකිරීම පිළිබඳව සැලකිරීමේ සංදේශය සාම්ප‍්‍රදායානුකූලව දියවඩන නිලමේ තැන්පත් නිලංග දෑල මහතා විසින් ඊයේ (08) මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත භාරදෙනු ලැබීය.

පෙරහැරින් ජනාධිපති මන්දිරය වෙත පැමිණි දියවඩන නිලමේ නිලංග දෑල මහතා ඇතුළු සතර මහ දේවාලවලට සහ පිටිසර දේවාලවල නිලමේවරුන්ව ජනාධිපති මන්දිරයේ ප‍්‍රධාන දොරටුව අභියසදී ජනාධිපතිතුමා විසින් පිළිගනු ලැබීය.
අනතුරුව දියවඩන නිලමේවරයා විසින් සාම්ප‍්‍රදායානුකූලව සංදේශය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ රටක සංස්කෘතිය, සම්ප‍්‍රදාය මෙන්ම සිරිත්විරිත් නීතියට සහ බලයට වඩා ප‍්‍රබල බවයි.
ලෝකයේ කිසිදු රටක නොමැති අභිමානවත් සංස්කෘතියකට සහ ශිෂ්ටාචාරයකට ශී‍්‍ර ලාංකීය ජනතාව උරුමකම් කියන අතර එම හර පද්ධතින් රැක ගනිමින් ඉතා යහපත් සහ සාමකාමී දේශයක් ගොඩනැගීමට සියලුදෙනා කැපවිය යුතු බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.
ඓතිහාසික ශී‍්‍ර දළදා සමිඳුන් උදෙසා නොකඩවා පැවැත්වෙන අසිරිමත් දළදා පෙරහැර මංගල්‍යය සැමදා රටත්, ජනතාවටත් ආශීර්වාදයක් බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා එම සංස්කෘතික මංගල්‍යය සාර්ථක කර ගැනීමට රජයක් ලෙස ලබාදිය හැකි සෑම අනුග‍්‍රහයක්ම ලබාදෙන බව ද ප‍්‍රකාශ කළේය.
පෙරහැරට සහභාගී වූ කලාශිල්පීන් වෙත සාම්ප‍්‍රදායානුකූලව තිළිණ හා සම්මාන ප‍්‍රදානය කිරීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.
ශී‍්‍ර දළදා මාළිගාවේ ,සිංදු ඇත් පැටවා වෙත පළතුරු සංග‍්‍රහයක් සිදු කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.
අනතුරුව චිරාගත සම්ප‍්‍රදායානුකූලව ජනාධිපතිතුමා ඇතුළු නිලමේවරුන් සමූහ ඡායාරූපයකට පෙනී සිටියහ.
සතර මහා දේවාලවල සහ පිටිසර දේවාලවල සංරක්ෂණ කටයුතු සඳහා තිළිණ පිළිගැන්වීම සිදු කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.
“පරිසරය පූජනීයයි දළදා සංස්කෘතිය” ග‍්‍රන්ථය මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක, ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, එස්.බී. දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, පළාත් අමාත්‍යවරුන් වන තිළිණ බණ්ඩාර තෙන්නකෝන්, බන්දුල යාලේගම, ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු, මහනුවර දිසාපති එච්.එම්. හිටිසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more

Local News