වකුගඩු රෝගින්ගේ සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමකින් අඩු වී තිබෙනවා – ජනපති

Share

වකුගඩු රෝග නිවාරණයට රජය ගෙන යන පුළුල් වැඩපිළිවෙළ යටතේ මෙරට වකුගඩු රෝගින්ගේ සංඛ්‍යාව වාර්ෂිකව සැලකිය යුතු මට්ටමකින් අඩුවෙමින් පවතින බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

මෙම රෝගයට ගොදුරුවන්නේ රටේ අහිංසක පොදු ජනතාව බව පැවසූ ජනාධිපතිතුමා රෝගය නිවාරණයට, මර්දනයට සහ වැළැක්වීමට මෙන්ම වකුගඩු රෝගින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුබසාධනය සඳහා ද රජය ඉකුත් වසර තුන හමාර තුළ පුළුල් වැඩකොටසක් ඉටු කළ බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ රුපියල් මිලියන 800ක වියදමින් ස්ථාපිත කරන ලද ප‍්‍රති ආශ‍්‍රැතිකරණ ජල පද්ධති 500හි පිරිසිදු පානීය ජලය අති උතුම් ජය ශ‍්‍රී මහා බෝ සමිඳුන් වෙත පූජා කිරීමේ පුණ්‍යෝත්සවයට සහ 500 වැනි ප‍්‍රති ආශ‍්‍රැතිකරණ ජල පද්ධතිය ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට අද (21) පෙරවරුවේ එක්වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේ 2016 වසරේ අලුතින් එක් වූ වකුගඩු රෝගින්ගේ සංඛ්‍යාව 3372 ක් වූ අතර එය 2017 වසරේ 2478 ක් බවට පත්ව ඇති බවත්, 2018 වසරේ මේ වන විට වාර්ෂිකව එක් වන එම රෝගින්ගේ සංඛ්‍යාව 1500 ක පමණ අවම මට්ටමකට පැමිණ ඇති බවත්ය.

රටේ අහිංසක ජනතාව මුහුණ දී ඇති මෙම ඛේදවාචකයෙන් ඔවුන් සම්පූර්ණයෙන් නිදහස් කර ගැනීම සඳහා එම සියලුදෙනාගේ සහය ඉදිරියට ද අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

Read more

Local News