ඇසළ මහා මංගල්‍යය සමයේ මහනුවර නගර සීමාව තුළ ටොන් 200 කට අධික අමතර අපද්‍රව්‍ය

Share

ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ මහා මංගල්‍යය සමයේ මහනුවර නගර සීමාව තුළ ටොන් 200 ට අධික අමතර අපද්‍රව්‍ය ප්‍රමාණයක් එක්රැස් වී ඇති බව නාගරික යාන්ත්‍රික ඉංජිනේරු සහ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ හා ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ ප්‍රධානී නාමල් ධම්මික දිසානායක පවසන පරිදි මහනුවර නගර සීමාව තුළ දෛනිකව එක්රැස් වන කසල ප්‍රමාණය ටොන් 120කි.

පෙරහැර නැරඹීමට පැමිණි බැතිමතුන් සහ සංචාරකයන් මෙන්ම ඒ සඳහා සහභාගී වූ අලි ඇතුන් සංඛ්‍යාව ඉහළ යාමත් සමග සාමාන්‍ය ප්‍රමාණය ඉක්මවා මෙවර කසල එක්රැස් වී ඇති බව ඔහු පෙන්වා දුණි.

නගර සීමාවේ පැවති උත්සවවලින් ඉවත දමන ලද අපද්‍රව්‍ය සහ අලි ඇතුන්ට ආහාර ලෙස සැපයූ කොල වර්ගවලින් ඉතිරි වූ ඒවා ද ඊට ඇතුළත්ය.

පෙරහැර නැරඹීමට පැමිණෙන පුද්ගලයන්ගේ සංඛ්‍යාව අනුව එක්රැස් වන කසල ප්‍රමාණය වෙනස් වන බවත් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ ප්‍රධානී නාමල් ධම්මික දිසානායක වැඩිදුරටත් සඳහන් කළේය.

විදේශිකයන්ගෙන් ආදර්ශයක්

මහනුවර

මේ අතර මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ මහා මංගල්‍යය නැරඹීමට පැමිණි විදේශිකයන් ආදර්ශයක් ලබා දෙමින් අසුන් ගැනීමට යොදා ගත් ඉටි රෙදි නැවත ගෙන යන ආකාරය දක්නට ලැබිණි.

මහනුවර කසල

පෙරහැර සමයේ ජනතාව මහනුවර නගරයට පැමිණීම වැඩි වීමත් සමග නගර සීමාවේ පිහිටි හෝටල්වලින් බැහැර කෙරෙන කසල ප්‍රමාණය ටොන් 75 දක්වා ඉහළ ගොස් ඇති බවත් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ ප්‍රධානී නාමල් ධම්මික දිසානායක කියා සිටියේය.

ඔහු පවසන පරිදි සෙසු දිනවල හෝටල්වලින් බැහැර කරන කසල ප්‍රමාණය ටොන් 47 කි.

බැතිමතුන් විසින් අපද්‍රව්‍ය බොහෝ ප්‍රමාණයක් මහමග දමා ගොස් තිබූ බව කී අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ ප්‍රධානී නාමල් ධම්මික දිසානායක එසේ නොකර එවැනි ඉවතලන දෑ ඔවුන් රැගෙන ගියේ නම් එක්රැස් වන කසල ප්‍රමාණය අඩු වනු ඇති බවත් පෙන්වා දුණි.

එසේම දිරන සහ නොදිරන අපද්‍රව්‍ය වෙන් නොකොට එකම කසල බඳුනක හැර දමා ගොස් තිබූ බැවින් ඒවා වෙන් කිරීමට ද අධික වෙහෙසක් දැරීමට සිදු වූ බව ඔහු සඳහන් කළේය.

බැතිමතුන් විසින් දමා ගිය කසල නගර සභාවේ සේවකයන් යොදවා පැය කිහිපයකින් ඉවත් කර මහනුවර හරිත කලාපය රැක ගැනීමට තම නිලධාරීන් දැඩි වෙහෙසක් ගත් බවත් ඒ සඳහා දායක වූ සියලුම සේවකයන්ට සිය ස්තුතිය පුද කරන බවත් නාගරික යාන්ත්‍රික ඉංජිනේරු සහ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී නාමල් ධම්මික දිසානායක කියා සිටියේය.

පෙරහැර ආරම්භ වීමට ප්‍රථම මහනුවර නගරය අපවිත්‍ර නොකරන මෙන් ශ්‍රී දළදා මාලිගයේ පරිපාලනය ජනතාවගෙන් ඉල්ලීමක් ද කර තිබිණි

Read more

Local News