නව රේගු නිලධාරීන්ට පත්වීම් ලිපි ප්‍රදානය ක‌ෙ‌‌රේ

Share

දේශපාලන හිතවත්කම් මත රැකියා ලබා දීම වෙනුවට දක්ෂතාව මත සුදුස්සාට රැකියා ලබා දෙමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කරමින් සිටින බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජාතිය, ආගම හෝ දේශපාලන පක්ෂය මත පදනම්ව රැකියා ලබා දීමේ යුගය අවසන් බවයි. නව රේගු පරීක්ෂක දෙවැනි ශ්‍රේණියේ නිලධාරීන් 77 දෙනකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ නව ශ්‍රවණාගාරයේ පැවැති උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

‘‘රටට ප්‍රධානතම ආදායම් දෙන තැන තමයි ශ්‍රී ලංකා රේගුව. රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියන දෙපාර්තමේන්තු තුන නිසා තමයි මේ රට දුවන්නෙ. රටේ දරුවන්ට පළමු ශ්‍රේණියේ ඉඳල විශ්වවිද්‍යාලය දක්වා අධ්‍යාපනය ලබා දෙන්නෙ, නිදහස් සෞඛ්‍ය ලබා දෙන්නෙ මේ ආදායමෙන් තමයි. ඉතින් අද ඔබ මේ එක්වන්නෙ එවැනි ආර්ථික වශයෙන් වැදගත්ම තැනක රැකියාවකටයි.

අපි මේ පත්වීම් ලබා දීමේ දී බැලුවෙ දක්ෂතාව පමණයි. 7,400ක විතර පිරිසක් අතරින් ඉතාම තරඟකාරී විභාගයකින් සහ සම්මුඛ පරීක්ෂණයකින් සමත් වෙලා තමයි ඔබ 77 දෙනා අද මේ ඇවිත් ඉන්නෙ. වෙනත් යුගයක නම් මේ පත්වීම් 77න් 99%ක් ම ලැබෙන්නෙ මාතරට. අද එහෙම නෙවෙයි. අපි ආගම, ජාතිය, ප්‍රදේශය හෝ දේශපාලන පක්ෂය බලලා නෙවෙයි මේ පත්වීම් ලබා දීල තියෙන්නෙ.

ඔබ මේ රැකියාව කරද්දි විවිධ මාරයො හමුවෙයි. නීත්‍යානුකූල වගේ ම නීත්‍යනුකූල නොවන ක්‍රමවලින් මුදල් උපයන්න කියල කතා කරයි. ඔබ ඒ මාරයන් යටපත් කළ යුතුයි‘‘ යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

Read more

Local News