උප්පැන්න සහිතික නිකුත් කිරීමේ දී ශ්‍රී ලාංකික වශයෙන් සටහන් කිරීම ආරම්භ කළ යුතුයි

Share

උප්පැන්න සහතික නිකුත් කිරීමේ දී සිංහල, දෙමළ, මුස්ලිම් වශයෙන් ජාතිය සටහන් කිරීම වෙනස් කර ශ්‍රී ලාංකික යනුවෙන් සටහන් කිරීම ආරම්භ කළ යුුතුයැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඊයේ (28) යාපනයේ චාවකච්චේරියේ දී පැවසිය.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා,

”කෙනෙක් උපදින අවස්ථාවේ දී උප්පැන්න සහතිකයෙන් ම සිංහල, දෙමළ, මුස්ලිම් කියලා වෙන් කරනවා. මේ ක්‍රමය නැවැත්විය යුතුයි. මේ විෂය තියෙන්නේ අපේ අමාත්‍යාංශය යටතේ. අපි අනාගතයේ දී උප්පැන්න සහතිකයේ ශ්‍රී ලාංකික කියලා ලියන්න කටයුතු කරන්න ඕනෑ. අපි ජාති වශයෙන් බෙදෙන්නේ නැතිව හැමෝම මනුස්සයන් හැටියට වැඩ කළොත් පමණයි මේ රට දියුණු කරන්න පුළලුවන් වෙන්නේ. අපි ශ්‍රී ලාංකිකයන් විදියට සිතිය යුතුයි. ශ්‍රී ලාංකිකයන් විදියට කටයුතු කළ යුතුයි.

අපේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය වන්නේ මේ රට එකම ජාතිකයක් එකම ශ්‍රී ලාංකිකයන් විදියට ඉදිරියට ගෙන යන්න. ජාති වශයෙන් බෙදිලා අපිට කවදාවත් රටක් ගොඩදාන්න බැහැ. අපේ බෞද්ධ අය හින්දු කෝවිල්වලට යනවා. හින්දු අය බෞද්ධ සිද්ධස්ථානවලට යනවා. ඉතින් අපි හැමෝම හැමෝටම ගෞරව කරමින් ජීවත් වෙන්න ඕනෑ.”

යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවගේ මෙතෙක් නොවිසඳුණු ගැටලු විසඳීම සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන නිල මෙහෙවර වැඩසටහන ආරම්භ කිරීමේ පළමු පියවර වශයෙන් ක්ෂේත්‍ර නිලධාරීන් ගෙයින් ගෙට ගොස් ජනතා ගැටලු ඒකරාශී කර තිබිණි. ඒ අනුව චාවකච්චේරි ප්‍රාදේශීය ලේකම් කොට්ඨසයේ පමණක් එවැනි නොවිසඳුණු ගැටලු 25,613ක් හඳුනාගෙන තිබිණි. නිල මෙහෙවර වැඩසටහන පැවැත්වීමටත් පෙර එම ගැටලුවලින් සියයට 80කට වඩා වැඩි ප්‍රමාණයක් විසඳා තිබිණි.

Read more

Local News