හෝටලයක් කරගත් රාජ සභාව යළි පවරා ගනියි

Share

වසර විස්සකට අධික කාලයක සිට හෝටලයක් ලෙස පවත්වාගෙන ගිය කුරුණෑගල ඵෙතිහාසික රාජධානියේ රාජ සභා මණ්ඩපයට අයත් ඉපැරණි ගොඩනැගිල්ලක් වහාම ක්‍රියාත්මක වන පරිදි කුරුණෑගල මහා නගර සභාවට පවරා ගැනීමට පියවර ගෙන තිබේ.

කුරුණෑගල නගරාධිපති පොදුජන පෙරමුණේ තුෂාර සංජීව විතාරණ මහතා විසින් විසින් මෙම පියවර ගෙන තිබේ.

ඒ අනුව එම හෝටලය වසා දමා එහි ආරක්ෂාවට නගර සභාවේ ආරක්ෂක නිලධාරීන් යෙදවීමට නගරාධිපතිවරයා පියවර ගෙන තිබේ.

කුරුණෑගල රාජධානියේ ආරම්භකයා ලෙස සැලකෙන දෙවැනි බුවනෙකබාහු රජුගේ පාලන සමයේදී මෙම ගොඩනැගිල්ල ඉදි කරන්නට ඇති බවට සැලකේ.

ඉන් පසුව ඔහුගේ පුත් දෙවැනි පරාක්‍රමබාහු රජු විසින් කුරුණෑගල රාජ මාලිගා පරිශ්‍රය ආශ්‍රිතවම දළදා වහන්සේ වැඩ හිඳුවීමට දළදා මාලිගයක් ඉදි කළ අතර අද එම දළදා මාලිගයේ නෂ්ඨාවශේෂ නටඹුන් අතරින් දක්නට ලැබෙන්නේ ගල් උළුවස්සක කොටසක් පමණි.

කුරුණෑගල නගරය ආවරණය වන පරිදි විශාල කොටසක කුරුණෑගල රාජධානියේ විවිධ කොටස් පැතිර තිබුණද එහි අංගසම්පූර්ණ ගොඩනැගිල්ලක් ලෙස දක්නට ලැබෙන්නේ මෙම රාජ සභා මණ්ඩපය සහිත ගොඩනැගිල්ල පමණි.

දැවයෙන් නිර්මාණය වූ මෙම ගොඩනැගිල්ල විටින් විට සිදු කරන ලද ප්‍රතිසංස්කරණ හේතුවෙන් අද වනවිටද මනා තත්ත්වයෙන් පැවතීමද විශේෂත්වයකි.

Read more

Local News