විනිසුරු ඉලංචෙලියන් ඉලක්කර කර වෙඩි තැබූ අයට ඇප

Share

යාපනය මහධිකරණ විනිසුරුවරයා වශයෙන් කටයුතු කළ මනික්කවාසගර් ඉලංචෙලියන්ව ඉලක්ක කර යාපනයේදී සිදු කළ වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් තුන් දෙනා ඇප මත නිදහස් කිරීමට යාපනය මහධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමචන්ද්‍රන් ඊයේ (19) නියෝග කර තිබේ.

2017 ජූලි මස 22 දා යාපනයේ නල්ලූර් කෝවිල අසලදී මහාධිකරණ විනිසුරුවරයා ඉලක්ක කරගෙන පිස්තෝලයකින් වෙඩි තැබීම නිසා විනිසුරුවරයාගේ ආරක්ෂාවට සිටි පොලිස් සැරයන් එච්.ජී. හේමචන්ද්‍ර මිය ගිය අතර තවත් පොලිස් නිලධාරියෙකු තුවාල ලැබීය.

මේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තුන් දෙනෙකු යාපනය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන්ව රිමාන්ඩ් බාරයේ තැබීමට අධිකරණය නියෝග කළේය.

මේ පිළිබඳව වූ නඩු විභාගය පැවති අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මහාධිකරණයට දන්වා සිටියේ මේ විත්තිකරුවන් කාලාන්තරයක් තිස්සේ බන්ධනාගාරගතව සිටින නිසා යම් ඇපයක් මත ඔවුන්ව නිදහස් කරන ලෙසයි.

මේ පිළිබඳව සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා එක් විත්තිකරුවකුට රුපියල් ලක්ෂ දෙක බැගින් වූ මුදල් ඇප හා එක් අයෙකුට රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප මත ඔවුන්ව නිදහස් කිරීමට නියෝග කළේය.

මේ විත්තිකරුවන් තුන් දෙනාට විදෙස් ගමන් තහනම් කළ විනිසුරුවරයා සතියේ සැම බ්‍රහස්පතින්දාවකම යාපනය මහාධිකරණයට පැමිණ එහි අත්සන් තබන ලෙසද නියෝග කළේය.

Read more

Local News