සයිටම් පෙත්සම ජනවාරියට

Share

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපාධිධාරීන් 81ක් දෙනෙකු ලියාපදිංචි කිරීම වැළැක්වීමේ තහනම් නියෝගයක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙත නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා ජනවාරි මස 24 වනදා කැඳවන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

අගවිනිසුරු නලින් පෙරේරා මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය කරනු ලැබීය. රජයේ වෛද්‍ය පීඨ සිසුන් තිදෙනෙකු විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

එහි වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, සෞඛ්‍ය අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන අමාත්‍යංශය,පනීතිපතිවරයා ඇතුළු පාර්ශව කීපයක් නම් කර තිබුණා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ සයිටම් ආයතනයේ උපාධිධාරී ශිෂ්‍යාවක් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් නියෝගයක් පදනම් කරගෙන එම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ  වෛද්‍ය උපාධිධාරීන් අසූ එක් දෙනෙකු ලියාපදිංචි කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සූදානම් වන බවයි.

එම අභියාචනාධිකරණ තීන්දුව අදාල වන්නේ පෙත්සම ඉදිරිපත් කළ ශිෂ්‍යාවට පමණක් බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් එම තීන්දුව පදනම් කරගෙන අනෙකුත් සිසුන් ලියාපදිංචි කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නීත්‍යානුකූල හැකියාවක් නොමැති බවයි ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටින්නේ.

මේ හේතුවෙන් සයිටම් ආයතනයේ උපාධිධාරී සිසුන් 81 දෙනෙකු ලියාපදිංචි කිරීම අත්හිටුවීමේ තහනම් නියෝගයක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙත නිකුත් කරන මෙන් ද එම පෙත්සම් වලින් ඉල්ලා තිබේ.

Read more

Local News