නියමිත කාලයට පෙර ජනපතිවරණ නැති බව මහින්ද කියයි

Share

නියමිත කාලයට පෙර ජනපතිවරණයක් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.

එ් මහතා මේ බව පැවසුවේ අද (28) ප්‍රවෘත්ති දේපාර්තමෙන්තුවේ පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවකදිය.

මේ අතර සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය අංශය, වෘත්තීය සහ අනෙකුත් සේවා සහ කෘෂිකාර්මික කටයුතු ආදි දේශීය ව්‍යාපාරවල ප්‍රවර්ධනය සඳහා සරල පුළුල්වූ පදනමක් සහ අඩු බදු අනුපාත සහිත, විනිවිදභාවයෙන් යුත් සහ සරල කරන ලද බදු පරිපාලන ක්‍රමවේදයක් ඇති කිරීමේ අවශ්‍යතාව රජය විසින් හඳුනාගෙන තිබේ.

ඒ සඳහා කඩිනමින් සිදු කළ හැකි පහත ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු යෙදීම පිණිස මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර කර ඇත.

තේ, කුළු බඩු, පොල්, රබර්, වී, පලතුරු, එළවලු ආදී ඕනෑම කෘෂිකාර්මික ආදායම්, විශේෂයෙන්ම සුළු පරිමාණ ව්‍යවසායකයින් වසර 05ක් කාලයක් දක්වා ආදායම් බදුවලින් නිදහස් කිරීම.

දේශීයව කෘෂිකාර්මික භාණ්ඩ යොදාගනිමින් සැකැසුම් කටයුතුවල නිරත වීමෙන් ලබන ලාභය මත බදු අනුපාතය 28% සිට 14% දක්වා අඩු කිරීම.

කුඩා ව්‍යාපාර කටයුතුවල නිරතවන ව්‍යවසායකයින්ට සහනයක් ලෙස දැනට පවතින 0.5%ක් වන ආර්ථික සේවා ගාස්තුව අදාළ වන ආදායම් සීමාව කාර්තුවකට රුපියල් මිලියන 12.5 සිට කාර්තුවකට රුපියල් මිලියන 50 දක්වා ඉහළ නැංවීම.

තේ, රබර්, පොල්, සහල් සහ අනෙකුත් කෘෂිකාර්මික සැකැසුම් කර්මාන්තශාලා සඳහා යොදා ගනු ලබන සූර්ය කෝෂ පැනැල සවි කිරීම ඇතුළුව පුනර්ජනනීය බලශක්ති ප්‍රභව යොදා ගැනීම වෙනුවෙන් වන පිරිවැය එකී කර්මාන්තවල බදු අය කළ හැකි ලාභය ගණනය කිරීමේදී අඩු කළ හැකි වියදමක් ලෙස සැලකිල්ලට ගැනීම.

බැංකු හා මූල්‍ය ආයතනවලින් ණය ලබා ගෙන එම ණය ක්‍රමවත් පරිදි සේවා කිරීමට නොහැකි වී ඇති සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට සහනයක් ලෙස මූල්‍ය පහසුකම් සඳහා ප්‍රවේශ වීමේ හැකියාව ලබා දෙමින් ඔවුන්ගේ ව්‍යාපාර නැවත පණ ගැන්වීම සඳහා සහය විය හැකි වැඩසටහනක් භාණ්ඩාගාරය විසින් සකස් කර ක්‍රියාත්මක කිරීම.

අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන වියදම අඩු කිරීම සඳහා දැනටමත් ඇතැම් භාණ්ඩවල සහ ඉන්ධනවල මිල අඩු කිරීමට පියවර ගෙන ඇති අතර, අනෙකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල අඩු කිරීම පිණිස ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීම, එම යෝජනා අතරවේ.

Read more

Local News