කෘෂිකාර්මික බදු සහන වලින් කිසිදු බලපෑමක් නැති බව මංගල කියයි

Share

දැනට රට තුල කෘෂිකාර්මික අංශය සඳහා බදු සහන වැඩසටහනක් මුදල් අමාත්‍යාංශය විසින් නිවේදනය කළත්, ඉදිරිපත් කර ඇති සහන මගින් එම කර්මාන්තයට කිසිදු බලපෑමක් වි නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මංගල සමරවිර මහතා වැඩ්දුරටත් පෙන්වා දෙන්නේ බොහෝ සුළු පරිමාණ ගොවීන් අදායම් බදු ගෙවන්නන්ගේ කාණ්ඩය අතරට නොවැටෙන අතර, පසුගිය වසරවල දත්ත සලකා බැලීමේදී කෘෂිකර්මය පදනම් කරගත් අදායම් බදු රජයේ බදු අදායමින් 0.03% වැනි ඉතාමත් සුළු ප්‍රතිශතයක් වන බවයි.

එමෙන්ම ඒ මගින් කෘෂි කර්මාන්තයට හෝ එහි ඵලදායීතාවට කිසිදු බලපෑමක් නොවන බව ඒ අනුව පැහැදිලි බව මංගල සමරවීර මහතා පැවසීය.

මංගල මහතා වැඩ්දුරටත් අදහස් දක්වමින් “දැනට සත්‍ය ලෙස ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට අවශ්‍යව ඇත්තේ දැරිය හැකි මූල්‍ය පහසුකම්, හොඳ තත්ත්වයේ වාරිමාර්ග, නිසි ගබඩා පහසුකම් සහ වෙළෙඳ පොළට ප්‍රවේශවීමේ අවස්ථාව වැනි පහසුකම්. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මගින් අප රන් අස්වැන්න (පොලී අනුපාතිකය 6.8%), ගොවි නවෝදා  (පොලී අනුපාතිකය 3.4%) වැනි මුළු කෘෂිකාර්මික අංශයම ආවරණය වන ආකාරයට ණය යෝජනා ක්‍රම හඳුන්වා දුන්නා. ගම්පෙරළිය වැඩසටහන මගින් පසුගිය වසර දෙක තුළ නොසලකා හැර තිබූ රට වටා ඇති  කුඩා පරිමාණයේ වාරි වැව් පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කළා. 2018 අයවැය මගින් පොළොන්නරුව, රත්නපුරය හා කිලිනොච්චිය යන නගර හා තවත් ප්‍රදේශවල කෘෂිකාර්මික ගබඩා ස්ථාපනය කිරීමේ වැඩසටහන් හඳුන්වාදීම නිසා ගොවීන්ගේ අදායම් ස්ථාවර කර ගැනීමට ඔවුන්ට හැකිවුණා.

අපගේ කෘෂිකාර්මික නවීකරණ වැඩසටහන යටතේ සුළු පරිමාණ ගොවීන් දේශීය හා ගෝලීය වටිනාකම් දාමයකට සම්බන්ධ කිරීම සඳහා විවිධාකාර වැඩසටහන් ආරම්භ කළා. මේ වැඩසටහන් සියල්ලම 2019 අයවැය මගින් පුළුල් කිරීම සඳහා අප ඉලක්ක කර තිබුණා. දැනට යෝජිත බදු විරාම කෘෂිකර්මයේ මෙවැනි බරපතල ගැටලුවලට විසඳුම් නොදෙනු ඇති. එසේ නමුත්, එමගින් අදායම් බදු ගෙවීමට හැකියාව ඇති විශාල වැවිලි සමාගම් හා වාණිජමය කෘෂි කර්මාන්තකරුවන්හට ප්‍රතිලාභ හිමිවෙනවා. ඒ අනුව, මේ බදු විරාම මගින් ගොවීන්ට කෙසේ වෙතත් වාසි අත්වන්නේ වාණිජ සමාගම් සදහායි. එයින් කුඩා පරිමාණයේ ගොවීන්ට කිසිදු ප්‍රතිලාභයක් නෑ. කෘෂිකාර්මාන්තයට ලබාදී ඇති බදු විරාම ජනතාවාදී ලෙස පෙනෙන නමුත් එය කර්මාන්තයේ සැබෑ ගැටලු විසදීමට නොහැකි ක්‍රියාමාර්ග බව පැවසිය යුතුයි.

කෙසේ වෙතත්, කෘෂිකර්මාන්තය සඳහා බදු නිදහස් කිරීම් වෙනත් ප්‍රශ්න මතු කරනවා. අනෙකුත් සුළු පරිමාණ කර්මාන්ත සඳහා සහයෝගයක් නෑ. කුඩා හා මධ්‍ය පරිමාණයේ වඩුවන්, සිල්ලර වෙළෙන්ඳන්, නිෂ්පාදනකරුවන්, ඉදිකිරීම්කරුවන්, ධීවර කර්මාන්තයේ යෙදෙන්නන්ට මේ සහන නැද්ද? ඔවුන්ට බදු සහන අකැපද? කෘෂිකර්මය පමණක් විශේෂ ඇයි? මේ බදු සහන කෘෂිකාර්මික සැකසුම් සඳහාද අදාළ වන අතර එමගින් මහා පරිමාණ සහල් මෝල් හිමිකරුවන්ට විශාල බදු වාසි අත්වනු ඇති.”බව මංගල සමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News