ගාමිණීගේ නඩුවේ වැඩිදුර සාක්ෂි හෙටත්

Share

ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ අද(29) යළි විභාගයට ගත්තේය.

මෙම නඩුව අද සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.

අද දින ලිට්රෝ ගෑස් සමාගමේ මූල්‍ය පාලක වශයෙන් කටයුතු කළ මුදිත තමානගම මහතා සාක්ෂි ලබා දුන්නේය.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මතු කළ හරස් ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන් සාක්ෂිකරු 2015 වසරෙන් පසුව පූජ්‍ය දඹර අමිල හිමියන්ට ප්‍රවාහන දීමනා වශයෙන් මාසිකව රුපියල් එක්ලක්ෂ විසිපන් දහස බැගින් ගෙවීමට සමාගමේ පාලනාධිකාරියෙන් යෝජනා ඉදිරිපත් වූ බවත් කියා සිටියේය.

ඊට තමා විරුද්ධ වූ බවත් ඉන් පසුව මසකට රුපියල් අනු පන්දහසක් බැගින් අමිල හිමියන්ට සමාගමේ රහසිගත ගිණුමකින් ගෙවීම් කිරීමට පියවර ගැනුණු බව ද සඳහන් කළ සාක්ෂිකරු මේ ආකාරයෙන් සමාගමේ සේවකයින් නොවන පුද්ගලයින් 39 දෙනෙකුට පමණ ගෙවීම් සිදුකර ඇති බවද අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

වැඩිදුර සාක්ෂි විභාගය හෙට(30) දින පැවැත්වෙයි.

Read more

Local News