සයිටම් වෛද්‍ය සිසුවියගේ පෙත්සම 7වනදා කැඳවයි

Share

අධිකරණයට අපහාසයක් සිදු කළේ යැයි චෝදනා කරමින් සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරිණී සිසුවියක විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට එරෙහිව ගොනු කර ඇති පෙත්සමක් ලබන මස 07 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

සයිටම් වෛද්‍ය විද්‍යාලයේ උපාධිධාරිනියක වන දිල්මි සූරියආරච්චි විසින් ඉදිරිපත් කළ පෙත්සම අද අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයින් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

එහිදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ මෙම පෙත්සම සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට තම සේවාදායකයින් අපේක්ෂා කරන බවයි. ඒ අනුව පෙත්සම ලබන 07 කැඳවීමට අභියාචනාධිකරණය නියම කළේය.

පෙත්සම්කාර ශිෂ්‍යාව අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම මගින් සඳහන් කර තිබෙන්නේ සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය සම්පූර්ණ කර තිබෙන තමන්ව ලියාපදිංචි කරන මෙන් අභියාචනාධිකරණය ඉකුත් 2017 වසරේ ජනවාරි මස තිස් වනදා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝගයක් නිකුත් කළ බවයි.

එම නියෝගය ප්‍රකාරව තමන්ම ලියාපදිංචි කිරීම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ප්‍රතික්ෂේප කරමින් සිටින බව ඇය තම පෙත්සමෙන් චෝදනා කර තිබේ.

මේ තුළින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට තීන්දු කර සුදුසු නියෝගයක් ප්‍රකාශ කරන මෙන්ද අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Read more

Local News