දඹර අමිල හිමියන්ට ගෙවූ වචුචරය අධිකරණය හඳුනාගනියි

Share

ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ අද(30) යළි විභාගයට ගත්තේය.

මෙම නඩුව සම්පත් අබේකෝන්(සභාපති), සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද කැඳවනු ලැබීය.

අද දින ලිට්‍රෝ ගෑස් සමාගමේ මූල්‍ය පාලක වශයෙන් කටයුතු කළ මුදිත තමානගම මහතාගෙන් සාක්ෂි සටන් කර ගැනීම සිදු කෙරුණි.

විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මතු කළ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකරු පසුගිය ජූලි මාසය සඳහා පූජ්‍ය දඹර අමිල හිමියන්ට ලිට්‍රෝ ගෑස් සමාගමෙන් ගෙවන ලද රුපියල් 95000/- ක මුදලට අදාළ වවුචර් පත්‍රය විවෘත අධිකරණයේ හඳුනාගත්තේය.

විත්තියේ හරස් ප්‍රශ්න වලට තවදුරටත් පිළිතුරු දුන් සාක්ෂිකරු මෙම නඩුවේ පළමුවන විත්තිකරු වන ගාමිණී සෙනරත් මහතා ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අවධියේ වැටුප් දීමනා කිසිවක් ලබා නොගත් බවද අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

වැඩිදුර සාක්ෂි විභාගය ලබන 07 වන දා තෙක් කල්තැබුණි.

2014 වසරේ පෙබරවාරි මස පළවනදා සිට 2015 වසරේ ජනවාරි මස 20 වනදා දක්වා කාලසීමාව තුළ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් හෙලන්කො හොටෙල් ඇන්ඩ් ස්පා නමැති සමාගමේ යෙදවීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පොදු දේපොළ පනත යටතේ ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස පියදාස කුඩාබාලගේ, නීල් බණ්ඩාර හපුහින්න සහ ලසන්ත බණ්ඩාර යන අය නම් කර තිබේ.

Read more

Local News