ඌව පළාත් සභාවේ අයවැයත් සම්මත වෙයි

Share

එජනිප – එජාප අමාත්‍ය මණ්ඩලයක් සහිත ඌව පළාත් සභාවේ 2019 අයවැය වැඩි ඡන්ද 28 කින් සභාවේ සම්මත වී තිබේ.

ඊයේ (06) රාත්‍රී යේ පැවති සභා වාරයේදී මෙය සම්මත වී තිබේ.

එජනිප-එජාප මන්ත්‍රීවරු ඊට පක්ෂව ඡන්දය දුන් අතර ජනතා විමුක්ති පෙරමුණේ සමන්ත විද්‍යාරත්න හා ආර්.එම් ජයවර්ධන යන මන්ත්‍රීවරු දෙදෙනා පමණක් විරුද්ධව ඡන්දය පරිහරණය කර තිබේ.

විවාදයේදී සමන්ත විද්‍යාරත්න මහතා මන්ත්‍රීවරුන් පිළිබඳව කල ප්‍රකාශයක් නිසා උණුසුම් තත්ත්වයක් මතුවී තිබේ.

එජනිප හා එජාප මන්ත්‍රීවරු එම ප්‍රකාශයට දැඩි විරෝධයක් දක්වමින් කියා සිටියේ සමන්ත විද්‍යාරත්න මහතාගේ එම ප්‍රකාශයෙන් මන්ත්‍රීවරුන්ට අපහාසයක් වී ඇති බැවින් සමාව ගත යුතු බවය.

එම අවස්ථාවේ මන්ත්‍රීවරුන් නොසන්සුන්ව කෑ ගැසීම නිසා උණුසුම් වූ සභාව සුළු වේලාවකට නතර වූ අතර  සභාපති ඒ. එම්. බුද්ධදාස මහතා සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීවරයා තම අසුන වෙත කැඳවා සාකච්ඡා කර තිබේ.

අනෙක් මැති ඇමතිවරුද එම ස්ථානයට ගිය අතර අවසානයේදී තම අසුනවෙත පැමිණි සමන්ත විද්‍යාරත්න මහතා තම ප්‍රකාශය පිළිබඳව මන්ත්‍රීවරුන්ට අවමානයක් සිදුවී නම් ඊට කණගාටුව පළකරන බව ප්‍රකාශ කර තිබේ.

එම ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙසටද ඔහු ඉල්ලා තිබේ.

අයවැය ඌව ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක මහතා විසින් ඉකුත් 4 වනදා සභාවට ඉදිරිපත් කර තිබේ.

4,5,6 යන දිනයන්හි අමාත්‍යංශ  වැය ශීර්ෂයන් පිළිබඳව විවාදය පවත්වා වෙන් වෙන් වශයෙන් ඡන්දය විමසූ අතර ඒ සියල්ල සභා සම්මත වී තිබේ.

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය මුදල් හා ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, පළාත් පාලන, විදුලිබල හා බලශක්ති, ඉදිකිරීම් හා ඉඩම් අමාත්‍යංශයේ වැය ශීර්ෂයටද ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු දෙදෙනා පමණක් විරුද්ධව ඡන්දය පරිහරණය කර තිබේ.

Read more

Local News