අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේනට ඇප

Share

බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වසරකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද නියම කළේය.

ඒ අනුව එක් එක් සැකකරු රුපියල් මිලියනයක මුදල් ඇප සහ රුපියල් මිලියන 20 බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදාහැරීමට නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඇපකරුවන් හතර දෙනාගෙන් දෙදෙනෙකු ළඟම ඥාතීන් විය යුතු බව ද නියම කළේය.
ඇපකරුවන් සියළු දෙනා ඔවුන්ගේ පදිංචිය තහවුරු කිරීමේ සහතික අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු බවද දැනුම් දුන් මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ගේ ජාතික හැදුනුම්පත් වල පිටපත් අධිකරණය වෙත භාර දිය යුතු බව ද නියම කළේය.
ඒ අනුව සැකකරුවන්ගේ විදේශ ගමන් සම්පූර්ණයෙන්ම තහනම් කළ අධිකරණය ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය වෙත භාරදිය යුතු බවයි නියම කළේ.
එමෙන්ම සෑම ඉරු දිනකම පෙරවරු 9ත් 12ත් අතර රහස් පොලිසිය හමුවේ වාර්තා කළ යුතු බවටද මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන්ට නියම කර තිබේ.
මීට පෙර අර්ජුන ඇලෝසියස් සහ කසුන් පලිසේන යන සැකකරුවන් වෙනුවෙන් ඇප ඉල්ලීම ඉදිරිපත් කළ ඔවුන්ගේ නීතිඥවරු සඳහන් කර සිටියේ සැකකරුවන් දෙදෙනාගේ දරුවන් සහ බිරින්දෑවරුන් රෝගී තත්ත්වයන්ට මුහුණ පා ඇති බැවින් ඒ සුවිශේෂී කරුණක් සේ සලකා ඇප මත මුදා හරින ලෙසයි.
ඒ අනුව අදාළ කරුණ සුවිශේෂී කරුණු සේම කරුණු සේ පිළිගත් මහේස්ත්‍රාත්වරිය මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන අර්ජුන් මහේන්ද්‍රන් මේ දක්වා අත්අඩංගුවට ගෙන නොමැති නිසාත් පරීක්ෂණ නිමා වන කාලය පිළිබඳ අවිනිශ්චිත තත්ත්වයක් උද්ගතව ඇති නිසාත් එම කරුණ ද  සුවිශේෂි කරුණක් සේ සලකා මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත්කරන බවද සදහන් කර සිටියේය.

Read more

Local News