ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව අද කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගත්තේය.
මෙම නඩුව අද(04) සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.
මෙහිදී පැමිණිල්ලේ නව වන සාක්ෂිකරු ලෙස නම් කර සිටින කැන්විල් හොල්ඩිං සමාගමේ ගණකාධිකාරී මේනක රාජකරුණා මහතා ගෙන් විත්තියේ නීතිඥවරු විසින් හරස් ප්‍රශ්න ඇසීම සිදු කළේය.
මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මතු කළ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේ හම්බන්තොට හයට් රීජන්සි හෝටලයේ ඉදිකිරීමේ කටයුතු පැවරී තිබුණු කැන්විල් හෝල්ඩින්ග්ස් සමාගමේ සභාපතිවරයා ලෙස විත්තිකාර ගාමිණී සෙනරත් මහතා කටයුතු කළ බවයි.
එම තනතුරේ කටයුතු කිරීම වෙනුවෙන් ගාමිණී සෙනරත් මහතා අදාල සමාගමෙන් වැටුපක් හෝ දීමනාවක් ලබා නොගත් බවද සාක්ෂිකරු කියා සිටියේය.
යෝජිත හම්බන්තොට පුද්ගලික හෝටලය ඉදිකිරීම් කටයුතු සැලසුම් කරනු ලැබුවේ ලොව ප්‍රකට හෝටල් සමාගමේ නිර්දේශ මත බවද මෙහිදී සාක්ෂිකරු හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් වැඩිදුරටත් කියා සිටියේය.
වැඩිදුර විමසීම ලබන 07 වනදාට කල් තැබුණි.
2014 වසරේ පෙබරවාරි මස පළ වනදා සිට 2015 වසරේ ජනවාරි මස 20 වනදා දක්වා කාලසීමාව තුළ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් හෙලන්කො හොටෙල් ඇන්ඩ් ස්පා නමැති සමාගමේ යෙදවීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පොදු දේපොළ පනත යටතේ ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.
මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස පියදාස කුඩාබාලගේ, නීල් බණ්ඩාර හපුහින්න සහ ලසන්ත බණ්ඩාර යන අය නම් කර තිබේ.