එමිල් රන්ජන් 22 වනදා දක්වා යළි රිමාන්ඩ්

Share

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළදී සිරකරුවන් 27 දෙනෙකු මරණයට පත් වීමේ සිද්ධියේ සැකකරුවකු වන හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා ලබන 22 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඉදිරියේ අද(08) කැඳවනු ලැබීය. රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි.

අගතියට පත් පාර්ශවයේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ වැලිකඩ සිරකරු ඝාතන සිද්ධියේ සාක්ෂිකරුවකු වන මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල මහතාට මෙම නඩුවේ පළමුවන සැකකරු වන පොලිස්පරික්ෂක නියොමාල් රංගජීව විසින් තර්ජන එල්ල කර ඇති බවයි.

ඒ පිළිබඳව අදාල මාධ්‍යවේදියා රහස් පොලීසියට මෙන්ම වින්දිතයන් සුරැකීමේ පොලිස් කොට්ඨාසයට පැමිණිලි කර ඇති බව ද නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේය.

මෙහිදි මහේස්ත්‍රාත්වරයා රහස් පොලීසියට නියෝග කර සිටියේ එවැනි පැමිණිල්ලක් ලැබී තිබේ නම් ඒ පිළිබඳව විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 22 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය.

එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් ද මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට දැනුම් දුන්නේය.

මෙම සිද්ධියේ තවත් සැකකරුවෙකු ලෙස නම් කර සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මේ වන විට අධිකරණය මගින් ඇප මත මුදා හැර තිබේ.

Read more

Local News