ශ්‍රී ලංකා-සිංගප්පූරු වෙළඳ ගිවිසුමට එරෙහි පෙත්සම කල් යයි

Share

ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් මැයි මස 22 වනදා යළි කැඳවන ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු පාර්ශව කිහිපයක් විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

එම පෙත්සම් අද(09) බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන සහ එල්.ටී.බී .දෙහිදෙණිය යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

මෙහිදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ සිංගප්පූරු ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම පිළිබඳව අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත්කර ඇති අතර එම කමිටුව මගින් ඊට අදාළ වාර්තාව ජනාධිපතිවරයා වෙත මේ වන විට ඉදිරිපත් කර ඇති බවයි.

එම කමිටු වාර්තාව මගින් කර ඇති නිර්දේශ පිළිබඳව ජනාධිපතිවරයා ගන්නා ක්‍රියා මාර්ගය දෙස තමන් බලා සිටින බව සඳහන් කළ පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවද අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව පෙත්සම මැයි මස 22 වනදා කැඳවීමට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය එදින පෙත්සම සලකා බැලීම පිළිබඳව අධිකරණය දැනුවත් කරනමෙන් පෙත්සම්කාර පාර්ශවය නියම කළේය.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් කොට ඇත්තේ පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව බවයි.

එබැවින් ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් සිදු වන බව පෙන්වාදෙන පෙත්සම්කරුවන් එම ගිවිසුම බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන මෙන්ද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Read more

Local News