Home දේශීය පුවත් ගම්මිරිස් කර්මාන්තය ඉතා වැදගත් ක්ෂේත‍්‍රයක් – ජනපති

ගම්මිරිස් කර්මාන්තය ඉතා වැදගත් ක්ෂේත‍්‍රයක් – ජනපති

0
ගම්මිරිස් කර්මාන්තය ඉතා වැදගත් ක්ෂේත‍්‍රයක් – ජනපති

අද (30) පෙරවරුවේ මහනුවර අර්ල් රිජන්සි හෝටලයේ පැවති ජාත්‍යන්තර ගම්මිරිස් ප‍්‍රජාවේ 45 වන ජාත්‍යන්තර සමුළුවට එක්වු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කෘෂි බෝග නිෂ්පාදනවල ප‍්‍රමාණාත්මක සහ ගුණාත්මක ප‍්‍රවර්ධනයක් ඇති කරමින්, අපනයනය ඉහළ නැංවීම සඳහා ක්‍රියාශීලී වැඩපිළිවෙළක අවශ්‍යතාවය පෙන්වා දෙයි.

අපේ රටේ කෘෂි ආර්ථිකය පිළිබඳව තිබෙන ඓතිහාසික තොරතුරු සමඟ නැවත රට කෘෂි ආර්ථිකයක් කරා ගෙන යන ගමනේදී ගම්මිරිස් කර්මාන්තය ඉතා වැදගත් ක්ෂේත‍්‍රයක් බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

ගම්මිරිස් ගොවීන් ශක්තිමත් කිරීමට සහ එම කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ගතයුතු පියවර ගැනීමට රජය කටයුතු කරන අතර, ප‍්‍රති අපනයනය හේතුවෙන් පසුගිය කාලය තුළ දේශීය ගම්මිරිස් මිල පහත වැටීමක් සිදු වුවද රජයක් ලෙස ඒ සඳහා අවශ්‍ය මැදිහත්වීම ලබාදීමට කටයුතු කළ බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

විශ්වීය කුළුබඩු ලෙස හඳුන්වන ගම්මිරිස්, ලෝකයේ වැඩියෙන්ම පරිභෝජනය කරන ස්වභාවික රසකාරකය වේ. ලෝක ගම්මිරිස් පරිභෝජනයේ සීඝ‍්‍ර වර්ධනයත් සමග ගම්මිරිස් නිෂ්පාදනය කරන රටවල එකමුතුවක අවශ්‍යතාවය පැනනැගුණු අතර ගම්මිරිස් නිෂ්පාදනය හා අළෙවි ප‍්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් 1972 දී පිහිටුවන ලද අන්තර් ජාතික ගම්මිරිස් ප‍්‍රජාව මේ වන විට ලොව පිළිගත් අන්තර් ජාතික සංවිධානයක් බවට පත්ව ඇත. ගම්මිරිස් නිෂ්පාදනය කරන ප‍්‍රධාන රටවල් වන ඉන්දුනිසියාව, වියට්නාමය, මැලේසියාව, ඉන්දියාව හා ශී‍්‍ර ලංකාව මෙහි පූර්ණ සාමාජිකත්වය දරණ අතර පිලිපීනය හා පැපුවානිව්ගිනියාව ආශි‍්‍රත සාමාජිකත්වය දරයි.

ලෝකයේ හෙක්ටයාර් 475,000 ක පමණ වූ වපසරියක ගම්මිරිස් වගාව ව්‍යාප්තව ඇති අතර මෙ.ටො. 430,000ක් පමණ නිෂ්පාදනයක් ලෝක වෙළෙඳපොළට වාර්ෂිකව නිකුත් කරනු ලැබේ. ඒ අනුව ගෝලීය වාර්ෂික ගම්මිරිස් පරිභෝජනය මෙ.ටො. 420,000ක් පමණ වේ.

ගම්මිරිස් ශී‍්‍ර ලංකාවේ ද ප‍්‍රධානතම අපනයන බෝගයක් වන අතර හෙක්ටයාර් 40,000ක පමණ වගා වපසරියක ව්‍යාප්තව ඇත. එමෙන්ම වසරකට ගම්මිරිස් මෙ.ටො 15,000ක් පමණ අපනයනය කර රුපියල් මිලියන 10,000ක් පමණ වූ විදේශ විනිමය ප‍්‍රමාණයක් දේශයට උපයා දෙයි. සාමාන්‍යයෙන් අපනයන බෝග ආශි‍්‍රතව පාර්ශ්වකරුවන් ලක්ෂ 10ක පමණ කටයුතු කරන අතර ගම්මිරිස් කර්මාන්තය ආශි‍්‍රතව ගොවි පවුල් ලක්ෂ 04ක් පමණ ජීවිකාව පවත්වාගෙන යනු ලැබේ.

ජාත්‍යන්තර ගම්මිරිස් ප‍්‍රජාවගේ 45 වන ජාත්‍යන්තර සමුළුව ඔක්තෝබර් 30 වනදා සිට නොවැම්බර් 02 වනදා දක්වා මහනුවරදී පැවැත්වෙන අතර සාමාජික රටවල නියෝජිතයින් 100 ක පමණ ඊට එක්ව සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here