සෙනරත්ගේ නඩුව හෙටට කල්යයි

Share

ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව අද(28) කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගත්තේය.
මෙම නඩුව අද සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබූවා.
මෙම නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී  ශ්‍රී ලංකා මහ බැංකුවේ අධ්‍යක්ෂවරියක වන ඩී.එන්. සෙනෙවිරත්න මහත්මියගේ සාක්ෂි සටහන් කරගැනීම සිදු කළාය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නියමය පරිදි තමාව කැන්විල් හෝල්ඩින්ග්ස් සමාගමේ අධ්‍යක්ෂවරිය ලෙස 2012 වසරේ පත් කළ බවත් එම තනතුරේ 2015 වසරේ ජනවාරි මාසය දක්වා තමා කටයුතු කළ බවත් සාක්ෂිකාරිය කියා සිටියාය.
එහිදී සාක්ෂිකාරිය වැඩිදුරටත් කියා සිටියේ සේවක අර්ථසාධක අරමුදලට අයත් රුපියල් බිලියන 5 ක මුදලක් canwill holdings සමාගමේ ආයෝජනය කිරීමට 2013 වසරේ පියවර ගැනුණු බවයි.
කැන්විල් හෝල්ඩින්ග්ස් සමාගම මගින් කොළඹ සහ හම්බන්තොට හයට් හෝටල් ව්‍යාපෘති දෙකක් ඉදිකිරීමට නියමිත බවට තමන් දැනගෙන සිටි බව කී සාක්ෂිකාරිය ඊට අදාලව කැන්විල් හෝල්ඩින්ග්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ පියදාස කුඩාබාලගේ සහ සේවක අර්ථසාධක අරමුදලේ අධිකාරි කල්‍යාණි ගුණතිලක යන පාර්ශ්ව අතර හුවමාරු වූ ලිපි කීපයක් ද සාක්ෂිකාරිය හඳුනා ගත්තාය.
විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය කියා සිටියේ සේවක අර්ථසාධක අරමුදල මගින් canwill holdings සමාගමේ ආයෝජනය කළ මුදල් අපතේ ගිය බව සඳහන් කරමින් තමා දැනුවත්ව තම ආයතනය මගින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් කර නොතිබූ බවත් ප්‍රකාශ කළා.
වැඩිදුර විමසීම හෙට(29) දිනට කල් තැබුණා.
2014 වසරේ පෙබරවාරි මස පළ වනදා සිට 2015 වසරේ ජනවාරි මස 20 වනදා දක්වා කාලසීමාව තුළ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් හෙලන්කො හොටෙල් ඇන්ඩ් ස්පා නමැති සමාගමේ යෙදවීම තුළින් රජයේ  මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පොදු දේපොළ පනත යටතේ ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.
මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස පියදාස කුඩාබාලගේ, නීල් බණ්ඩාර හපුහින්න සහ ලසන්ත බණ්ඩාර යන අය නම් කර තිබේ.

Read more

Local News