සමෘද්ධි නිලධාරීන් මුහුණදී සිටින ගැටලුවලට විසඳුම් පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

Share

සමෘද්ධි නිලධාරීන් මුහුණදී සිටින ගැටලු සහ ඒවාට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
දිවයින පුරා සමෘද්ධි නිලධාරින් මුහුණදී සිටින ගැටලු පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා වෙත දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කෙරිණි.
සමෘද්ධි නිලධාරින්ගේ විශ්‍රාම වැටුප් ගැටලුව සහ 2014-01-03 වන දින සිට දෙපාර්තමේන්තුවේ නව සේවකයකු ලෙස අන්තර්ග්‍රහණය කළ නිලධාරින්ට අත්සන් කරන ලද ගිවිසුම අනුව වැටුප් අඩුකිරීමකින් තොරව ස්ථීර පත්වීම් ලබාදීම පිළිබදව ද මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කෙරුණු අතර, ඒ සඳහා අදාළ යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ජනාධිපතිතුමා උපදෙස් දෙනු ලැබීය.
එමෙන්ම  සමෘද්ධි නිලධාරින් සඳහා සුදුසු උසස්වීම් ක්‍රමවේදයක් සකස් කිරීම, පසුගිය අයවැය මගින් රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුපට එක් කරන ලද රුපියල් 10,000 ලබා ගැනීම, රජය මගින් ක්ෂේත්‍ර නිලධාරින්ට ලබාදෙන රුපියල් 300ක ක්ෂේත්‍ර නිලධාරී දීමනාව සහ රුපියල් 2000ක ගමන් වියදම ලබා ගැනීම ආදි ගැටලු පිළිබඳව ද මෙහිදී ඉල්ලීම් සිදු කළ අතර මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කර ඒ පිළිබඳ ඉදිරි පියවර ගන්නා බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
ගනුදෙනුවලදී සිදුවන ප්‍රමාදය වළක්වා ගැනීමත්, කාර්යක්ෂමතාව වර්ධනය කර ගැනීම සඳහාත් සියලුම සමෘද්ධි බැංකු පරිගණක ගතකර, නවීකරණය කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

Read more

Local News