ඇලෝසියස්ගෙන් අධිකරණයට මෝසමක්

Share

තමන්ට පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පර්පචුවෙල් ට්‍රෙෂරීස්ස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් මහතා විසින් කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් ලබන 05 වනදා දා අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය රහස් පොලිසියට නියම කළේය.

ඇලෝසියස් මහතා විසින් ඉදිරිපත් කළ මෝසමක් අද(31) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී ඇලෝසියස් මහතාගේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ සේවාදායකයාට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා මේ මස 14 වනදා සිට මාස දෙකක කාල සීමාවක් සඳහා ඉන්දියාව සහ සිංගප්පූරුව යන රටවල යාමට අවශ්‍යව ඇති බවයි.

ඒ සඳහා ඔහූට දැනට පණවා තිබෙන විදේශ ගමන් තහනම අදාල කාල සීමාව සඳහා තාවකාලිකව ලිහිල් කරන මෙන් ද නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

මෙහිදී ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය සඳහන් කර සිටියේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් රහස් පොලිසියෙන් ද කරුණු විමසිය යුතු බවයි.

ඒ අනුව ඇලෝසියස් මහතාගේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ලබන 05 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන්නැයි මහේස්ත්‍රාත්වරිය රහස් පොලීසියට නොතීසි නිකුත් කළේය.

Read more

Local News