කළුතර මහ රෝහලේ සුළු සේවකයින්ට නව නිල නිවාස සංකීර්ණයක්

Share

කළුතර නාගොඩ මහ රෝහලේ ගිලන් රථ ගරාජය රියදුරු සහ සුළු සේවකයින් සඳහා නිල නිවාස ඉදිකිරිම සඳහා මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට(02) පස්වරු 1.00 ට සිදු කිරීමට කටයුතු යොදා ඇත.

මේ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 72 කි. කළුතර නාගොඩ මහ රෝහල රුපියල් මිලියන 12,000 කට අධික මුදලකින් සංවර්ධනය කිරීම මේ වන විට ආරම්භ කර ඇත.

රුපියල් මිලියන 3000 ක් වැය කරමින් නව වෛද්‍ය වාට්ටු සංකීර්ණයක් ඉදිකෙරෙන අතර, රුපියල් මිලියන 1000 ක් වැය කරමින් ඉදිකළ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පසුගියදා විවෘත කරන ලදි.

රුපියල් මිලියන 500 කට ආසන්න මුදලක් වැය කරමින් බාහිර රෝගී අංශය සඳහා නව ගොඩනැගිල්ලක් ඉදි කෙරේ.

කළුතර මහ රෝහලට සමගාමීව නෙදර්ලන්තයේ ආධාර යටතේ විශේෂිත මාතෘ හා ළමා රෝහලක් කළුතර ගල්අස්ස ප්‍රදේශයේ ඉදිකරන අතර ඒ සඳහා රුපියල් මිලියන 4600 ක් වැය කරයි.

ඩෙංගු රෝගීන් සඳහා විශේෂිත අධිසත්කාර ඒකකයක්, සීමාවාසික වෛද්‍ය නිලධාරී නිල නිවාස ඉදිකිරිම, නව පරිපාලන ගොඩනැගිල්ලක්, ජල ටැංකියක්, අක්ෂි වාට්ටු සංකීර්ණයක්, ඖෂධ ගබඩා ගොඩනැගිල්ලක් ද කළුතර මහ රෝහලේ මේ වන විට ඉදිකෙරෙමින් පවතී.

Read more

Local News