ලලිත් හා අනූෂගේ අභියාචනා විභාගයට ගැනීම ලබන මසදී

Share

සිල් රෙදි නඩු තීන්දුවට එරෙහිව හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ හිටපු විදුලි සන්දේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන අය විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනා මාර්තු 08 වන දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියම කළේය.

මෙම අභියාචනා පෙත්සම් අද(05) අභියාචනාධිකරණ විනිසුරු අචල වෙංගප්පූලි මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා විසින් අද දින ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් එම ලිඛිත දේශන ගොනු කිරීම සඳහා හෙට දක්වා කල් දමා ලබාදෙන මෙන් ඉල්ලීම් කළේය.

එම ඉල්ලීමට ඉඩ ලබාදුන් විනිසුරුවරයා අදාළ අභියාචනා මාර්තු මස 8 වන දා විභාගයට ගන්නා බවයි නියම කළේය.

ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවයින පුරා විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම තුළින් රජයේ මුදල් රුපියල් මිලියන 650 ක් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන අයට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් පසුව එම චෝදනාවලට වරදකරු කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විත්තිකරුවන්ට එරෙහිව වසර තුන බැගින් සිර දඬුවම් සහ දඩ මුදල් නියම කරනු ලැබුවේය.

එම දඬුවම් වලින් තමන්ව නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමිනුයි ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන විත්තිකරුවන් අභියාචනාධිකරණය වෙත මෙම  අභියාචනය ඉදිරිපත් කර තිබෙන්නේ.

Read more

Local News