මහින්දගේ පෙත්සම සලකා බැලීම ලබන මසදී

10

අග්‍රාමාත්‍ය ධුරයේ සහ අමාත්‍ය මණ්ඩලයේ කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය මගින් ඉකුත් දා නිකුත්කර තිබු තහනම් නියෝගයක් ඉවත් කරන මෙන් ඉල්ලා ඉකුත් දෙසැම්බර් මස හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හිටපු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් විසින් ගොනු කරන ලද අභියාචනා පෙත්සම් මාර්තු මස 14 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

එම අභියාචනය අද(06) අගවිනිසුරු බුවනෙක අලුවිහාරේ සහ මුර්දූ ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

එහිදී එම අභියාචනා වල වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය යන පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එකසිය විසි දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයින් විසින් මෙම කරුණට අදාලව අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම ඉල්ලා අස් කරගැනීම සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ලිඛිත උපදෙස් ලබාගැනීම සඳහා කල් අවශ්‍යව ඇති බවයි.

මීට අදාළව තම සේවාදායකයන් ගෙන් අත්සන් ලබා ගැනීමේ කටයුතු මේ දක්වා සම්පූර්ණ කර නොමැති බවත් මෙම කටයුතු සම්පූර්ණ කර ගැනීම සඳහා කාලය ලබා දෙන ලෙස එම නීතිඥවරයා ඉල්ලීම් කළේය.

ඒ අනුව මෙම අභියාචනය වෙනත් දිනයක කැඳවන මෙන් ද වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී පෙත්සම්කාර මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හිටපු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම ඉල්ලා අස් කර ගන්නේ නම් මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් තම සේවාදායකයින් සලකා බැලීමට සූදානම් බවයි.

ඒ අනුව මෙම කටයුතුවල ප්‍රගතිය සලකා බැලීම සඳහා අදාළ අභියාචනා පෙත්සම මාර්තු මස 14 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.