පෙණහළු බද්ධ කිරීම ලඟදීම ශ්‍රී ලංකාවේ දීත්

Share

සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් සහ සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ඉහළ නැංවීමට පියවර ගනිමින් සෞඛ්‍ය සේවකයින් 2150 කට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ඊයේ(05) දින අරලියගහ මන්දිරයේ දී සිදු කෙරිණි.

එ් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.

ඒ අනුව විශේෂ ශ්‍රේණිය වෛද්‍ය රසායානාගාර කාර්මික විද්‍යාඥ 13 ක්, වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ 116 ක්, ඖෂධවේදී 176 ක්, විකිරණ ශිල්පී 41 ක්, විද්‍යුත් නිකර්පන රේඛන සටහන්කරු 09 ක්, මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පී 10 ක්, දන්ත චිකිත්සක 03 ක්, සිසු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී 845 ක්, වෛද්‍ය සැපයීම් සහකාර 53 ක්, නිවාස භාරකාරීනී/භාරකරු 131 ක්, ආහාර නිරීක්ෂිකා 54 ක්, ෆෝක් ලිෆ්ට් 07 ක්, උපස්ථායක (පුහුණුව සඳහා) 692 වශයෙන් 2150 කට පත්වීම් ලබාදෙන ලදි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

සෞඛ්‍ය සේවාවේ විශාල වෙනසක් සිදු කර තිබෙනවා. නිදහස් සෞඛ්‍ය සේවාවක් ක්‍රියාත්මක වුවත් පසුගිය සමයේ රෝගීන්ගෙනුත් මුදල් වැය වුනා. පිළිකා රෝගීන් සඳහා රුපියල් ලක්ෂ 15 කට පැවැති ප්‍රතිකාර සීමාව ඉවත් කිරිම නිසා අද වනවිට එක් රෝගියෙක් රුපියල් ලක්ෂ 450 දක්වා ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා.

වත්මන් රජය බලයට පත්වීම නිසා තමයි එම රෝගීන්ට ජිවිත කාලය පුරාම ප්‍රතිකාර ලබාගැනීමට හැකිවන්නේ. නැතිනම් ඔවුන් මියගොස් එම ස්ථානවල ගසුත් පැළ වෙලා. නොමිලේ ස්ටෙන්ස්, අක්ෂි කාච ලබාදීමේ වැඩපිළිලිවෙල තුලින් රෝගීන්ට විශාල සහනයක් ලැබී තිබෙනවා. නොමිලේ අක්ෂි කාච ලබාදීමේ වැඩපිළිවෙල ආරම්භ කළ පසු අක්ෂි කාච ලක්ෂ 03 ක් බද්ධ කර තිබෙනවා.

අවයව බද්ධ කිරීම් ආරම්භ කළ අතර, ඉදිරියේ දී පෙණහළු බද්ධ කිරීම ද ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. හෘදයවස්තු බද්ධ කිරීම් 02 ක් සිදු කළ අතර, තුන්වනි බද්ධ කිරීම ඉදිරියේ දී සිදු කිරීමට නියමිතයි.

අංග සම්පූර්ණ සෞඛ්‍ය සේවාවක් ලබාදෙන්නේ ජනතාවට නිදහස් සෞඛ්‍ය සේවාවේ උපරිම ප්‍රතිඵල ලබාදීමේ අරමුණින්. සෞඛ්‍ය සේවකයින්ට උපාධිය ලබාදීම සඳහා පීඨ ඇති කරමින් වෘත්තිකයින් බිහි කිරීමේ වැඩපිළිවෙළ ද දියත් කර තිබෙනවා.

යහපාලන රජය තුල වැඩසටහන් රැසක් දියත් කළත් සිදු වූ ප්‍රචාරය ප්‍රමාණවත් නැහැ. නමුත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ලෝක ප්‍රජාව ප්‍රශංසාවට ලක් කළත්, ලංකාවේ එය ප්‍රශංසා කිරිම ප්‍රමාණවත් නැහැ. බුදුරජාණන් වහන්සේ පවා දේශනා කළේ “ආරෝග්‍යා පරමා ලාභා” යනුවෙන්. රජකම ලැබුනත් වැඩක් නැහැ රෝගියෙක් නම්.

Read more

Local News