මධූෂ් අැල්ලූ බවට නිල ප්‍රකාශයක් නැතැයි රුවන් කියයි

Share

මාකඳුරේ මධූෂ් මෙරට ආරක්ෂක අංශ භාරයට ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ඩුබායි බලධාරීන් සමඟ සාකච්ඡා කර ඉදිරි පියවර ගන්නා බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මධූෂ් අත්අඩංගුවට ගත් බවට ඩුබායි රජය මේ වනතෙක් නිල වශයෙන් මෙරටට දැනුම් දී නොමැති බවයි.

මෙරට අපරාධකරුවෙකු විදෙස් රටකදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහු මෙරටට ගෙන්වා ගැනීම සඳහා පනවා ඇති නව නිති රීති අනුව දෙරට අතර කිසිදු ගිවිසුමක් අවශ්‍ය නොවන බව විවෘත විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යන අංශ ප‍්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීතිඥ රාජා ගුණරත්න මහතා පවසයි.

මෙරට පුද්ගලයෙකු වෙනත් රටකදි එවැන්නක් සිදු කර ඇත්නම් අනිවාර්යයෙන් එම සැකකරුන් මෙරටට එවිය යුතු බවයි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා සදහන් කළේ.

මේ අතර ඩුබායිහිදී ප‍්‍රබල පාතාල කල්ලි නායක මාකදුරේ මධූෂ් සමඟ අත්අඩංගුවට ගත් ශී‍්‍ර ලාංකිකයින් අතර රාජ්‍ය තාන්ති‍්‍රක ගුවන් බලපත‍්‍රයක් හිමි අයෙකු සිටින බව වාර්තා වෙයි.

එරට කලිජ් පුවත්පත වාර්තා කළේ සාදය පැවැත්වූ ස්ථානයේ සිටියදී ඔහු අත්අඩංගුවට ගත් බවයි.

ප‍්‍රබල පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් නොහොත් සමරසිංහ ආරච්චිගේ මධූෂ් ලක්ෂිත නැමැත්තා ඇතුලූ 25 දෙනෙකු කොකේන් තොගයක් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගැණුනේ ඊයේ(05) දිනයේදීයි.

ඩුබායිහී පිහිටි ප‍්‍රධාන පෙලේ හෝටලයක දී එරට පොලීසිය විසින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර මෙරට ජනප‍්‍රිය ගායකයෙකු සහ නවක ගායකයෙකු වන ඔහුගේ පුත‍්‍රයා ද වෙයි.

කෙසෙල්වත්තේ දිනුක අංගොඩ සුද්දා රණාලේ චුට්ටා සහ කංජිමාන් ඉම්රාන් නැමැති පුද්ගලයින් ද අත්අඩංගුවට ගත් පිරිසට ඇතුළත්.

මාකදුරේ මධූෂ්ගේ දෙවන බිරිදට දාව උපන් පුතුගේ උපන් දිනය වෙනුවෙන් සංවිධානය කර තිබූ සාදයක් අතරතුර මෙම වැටලීම සිදු කර ඇති බවයි පොලීසිය සදහන් කළේ.

Read more

Local News