සාමුහික ගිවිසුමෙන් වඩිවේල් සුරේෂ් ඉවත්වෙයි ?

Share

ඉදිරියේදී හාම්පුතුන් සහ වෘත්තීය සමිති අතර අත්සන් කෙරුණු සාමුහික ගිවිසුමෙන් තමන් ඉවත් වන බව වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (06) දින කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

වතුකර ජනතාවගේ වැටුප් සම්බන්ධයේන් පසුගිය දිනවලදී උද්ඝෝෂණ, සාකච්ඡා ආදිය පැවැත්වීම සිදු වූ බවත් සාකච්ඡා 27කට පසුව තමන්ද යම් කිසි තීන්දුවකට පැමිණි බවත් රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා පැවසීය.

ඉතිහාසයේ පළමු වරට වතුකර ජනතාවගේ හිඟ වැටුප් ගෙවීමට මිලියන 150ක් වෙන් කළ බවත් ඊට පසුව රුපියල් 700 සහ 750 ආදී වැටුප් ගෙවීම සම්බන්ධ තීරණයට පැමිණි බවත් එය විශාල ජයග්‍රහණයක් යැයි තමන් පවසන්නේ නැති බවත් පැවසීය.

වෘත්තීය සමිති ඒ සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවී තව තවත් එම මුදල වැඩි විය යුතු බවට පවසන බවත්, එසේ වෘත්තීය සමිති තුළ තරඟතාවයක් පවතින විට තම ජනතාවට වැඩියෙන් ප්‍රයෝජනයක් අත් වන බව සහ ඒ සඳහා සහයෝගය ලබා දෙන බවත් ඒ මහතා පැවසීය.

වතුකර ජනතාවට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවද වඩිවේල් සුරේෂ් මහතා ප්‍රකාශ කලේය.

එසේම අමාත්‍යවරයා කියා සිටියේ තමන් විවේචනයට පත් වූයේ තමන් ඉදිරිපත් වී සාකච්ඡාවන්ට ගිය නිසාවෙන් බවයි.

එබැවින් හාම්පුතුන් සහ වෘත්තීය සමිති අතර අත්සන් කෙරුණු සාමුහික ගිවිසුමෙන් තමන් ඉදිරියේදී තමන් නිල වශයෙන්ම සම්පූර්ණයෙන්ම ඉවත් වන බවත් ඒ මහතා පැවසීය.

Read more

Local News