ගාමිණීට එරෙහි නඩුවේ සාක්ෂි සටහන් කර ගැනීම අවසන් වෙයි

Share

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි සටහන් කරගැනීම අද(12) කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ අවසන් කෙරුණි.

මෙම නඩුව අද සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ යළි කැඳවනු ලැබීය.

එහිදී නඩුවට අදාල පිළිගැනීම විත්තියේ සහ පැමිණිල්ලේ නීතිඥවරුන්ගේ එකඟතාව මත සටහන් කර ගැණිනි.

අනතුරුව පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් කරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා අධිකරණයට දන්වා සිටියේය.

අනතුරුව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් වි තිබෙන චෝදනා සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු වී නොමැති බැවින් විත්තිවාචකය නොකැඳවාම ඔවුන්ව නිදොස් කොට නිදහස් කරන මෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වන වගන්තිය යටතේ ඉල්ලීමක් කිරීමට අපේක්ෂා කරන බවයි.

එම ඉල්ලීම පිළිබඳව කරුණු දැක්වීම සඳහා තමන්ට කාලය ලබාදෙන මෙන් ද විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කළේය.

ඒ අනුව එම ඉල්ලීමට අදාළ කරුණු දැක්වීම් ලබන 22 වනදා  සිදුකරන ලෙස ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විත්තියේ නීතිඥවරුන් නියම කළේය.

2014 වසරේ පෙබරවාරි මස පළ වනදා සිට 2015 වසරේ ජනවාරි මස 20 වනදා දක්වා කාලසීමාව තුළ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් හෙලන්කො හොටෙල් ඇන්ඩ් ස්පා නමැති සමාගමේ යෙදවීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පොදු දේපොළ පනත යටතේ ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබේ.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස පියදාස කුඩාබාලගේ, නීල් බණ්ඩාර හපුහින්න සහ ලසන්ත බණ්ඩාර යන අය නම් කර තිබේ.

Read more

Local News