තිස්සගේ නඩුව ලබන මසට කල්යයි

Share

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුව මාර්තු මස 25 වනදා යළි කැඳවන මෙන් කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද(12) කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබුවේය.

එහිදී විත්තිකාර තිස්ස අත්තනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්තිද්‍රස්ස මහතා අධිකරණයට කරුණු දක්වමින් මෙම නඩුව කෙටි මාර්ගයකින් අවසන් කර ගැනීමට තම සේවාදායකයා අපේක්ෂාවෙන් සිටින බව සඳහන් කර සිටියේය.

මේ පිළිබඳව කරුණු දැක්වූ රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා කියා සිටියේ මීට අදාළව කරුණු අධ්‍යනය කිරීම සඳහා කල් ලබාදෙන ලෙසයි.

ඒ අනුව නඩුව නැවත මාර්තු මස 25 වනදා කැඳවීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුව කෙටි ක්‍රමයකින් අවසන් කර ගැනීමට ඇති ඉඩකඩ පිළිබඳව එදින වැඩිදුර කරුණු දක්වන ලෙස දෙපාර්ශවයේ නීතිඥවරුන්ට දැනුම් දී තිබේ.

මේ අතර විත්තියේ නීතිඥවරු කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා විත්තිකාර තිස්ස අත්තනායක මහතාට මේ මස 14 වනදා සිට මාර්තු මස 10 වනදා දක්වා කාලසීමාව සඳහා විදේශ ගතවීමටත් අවසර ලබා දුන්නේය.

පසුගිය ජනාධිපතිවරණය සමයේ කොළඹ පැවති මාධ්‍ය හමුවක දී එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය අතර රහසිගත ගිවිසුමක් පවතින බව කියන ලේඛනයක් ප්‍රසිද්ධියට පත්කිරීම තුළින් ජාතීන් අතර පවතින සංහිඳියාව කඩාකප්පල් කළේ යැයි චෝදනා කරමින් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් තිස්ස අත්තනායක මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණි.

Read more

Local News