විග්නේෂ්වරන්ට එරෙහි පැමිණිල්ල 21 කැඳවයි

Share

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් උතුරු පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතාට එරෙහිව ගොනු කර තිබෙන පැමිණිල්ල ලබන 21 වනදා කැඳවීමට අභියාචනාධිකරණය නියම කළේය.

පැමිණිල්ල අද(15) අභියාචනාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය හමුවේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරුවරිය මෙම පැමිණිල්ල ලබන 21 වනදා කැඳවන බවත් එදිනට එය විභාගයට ගන්නා දිනය නියම කරන බව සඳහන් කළාය.

උතුරු පළාත් හිටපු ධීවර අමාත්‍ය බී.ඩෙනිෂ්වරන් මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබූණි.

උතුරු පළාත් ධීවර අමාත්‍ය ධුරයෙන් තමන්ව ඉවත් කිරීම නීති විරෝධී යැයි ප්‍රකාශන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය බී. ඩෙනීෂ්වරන් මහතා විසින් ගොනු කළ පැමිණිල්ලක් විභාග කළ අභියාචනාධිකරණය ඩෙනීෂ්වරන් මහතාට එම තනතුරේ කටයුතු කිරීමට ඉඩ දෙන ලෙස දන්වා අතුරු නියෝගයක් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් මහතා වෙත 2018 වසරේ අගෝස්තු මස නිකුත් කර තිබුණි.

එහෙත් විග්නේෂ්වරන් මහතා එම අභියාචන අධිකරණ නියෝගයට අවනත නොවී කඩ කරමින් කටයුතු කළ බව චෝදනා කරන පැමිණිලිකාර ඩෙනීෂ්වරන් හිටපු අමාත්‍යවරයා ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට චෝදනා කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

එම පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේදී එය විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් වගඋත්තරකාර හිටපු ප්‍රධාන අමාත්‍ය විග්නේශ්වරන් මහතා ඇතුළු තුන් දෙනෙකු විසින් මූලික විරෝධතා මතු කර තිබුණි.

එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කර තිබෙන අභියාචනාධිකරණය එම පැමිණිල්ල විභාග කිරීමට තීරණය කර තිබේ.

Read more

Local News