Tuesday, March 19, 2024.

නීති විරෝධීව රියුනියන් දිවයින වෙත යන්න ගිය 14ක් නාවික හමුදා අත්අඩංගුවට

Share

නීති විරෝධි ලෙස මුහුදු මාර්ග ඔස්සේ රියුනියන් දිවයින වෙත පිටත් වීමට රහසිගතව සැලසුම් කර තිස්සමහාරාම නගරයේ ලැගුම් හලක් තුළ සැඟව සිටි පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට ගෙන ඇත.

දකුණු නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් සහ කතරගම පොලිස් විශේෂකාර්ය බළකායට අනුයුක්ත නිලධාරීන් පිරිසක් එක්ව කළ මෙහෙයුමකින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

මේ පිරිස අතර කුඩා දරුවන් 03ක්, කාන්තාවන් 03 ක් සහ පිරිමි පුද්ගලයින් 08 දෙනෙකු සිටි අතර, මොවුන් හලාවත, මීගමුව, කුලියාපිටිය, බංගදෙනිය, තිස්සමහාරාම සහ දෙල්ගොඩ යන ප්‍රදේශ වල පදිංචි කරුවන් වේ.

මෙම පුද්ගලයින් අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔවුන් සතුව මුහුදු ගමනට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය, ආහාර පිසීමට අවශ්‍ය කරන මුළුතැන්ගෙයි උපකරණ, ජාවරම් කරුවන්ගේ බවට සැක කරන ටොයොටා කොරොල්ලා වර්ගයේ මෝටර් රථයක් සහ ඩීමෝබට්ටා වර්ගයේ ලොරි රථයක් ද නාවික හමුදා භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයින්, වියළි ආහාර ද්‍රව්‍ය, මුළුතැන්ගෙයි උපකරණ සහ මෝටර් රථ ඉදිරි නීතිමය කටයුතු සඳහා තිස්සමහාරාම, පොලිස් විශේෂ කාර්ය බළකාය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

Read more

Local News