ලංකාවේ සංවර්ධනයට ඉන්දියාවේ සහය

Share

ඉන්දීය මහ කොමසාරිස් තරංජිත්සින් සන්දු මහතා සහ උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අතර හමුවක් ඊයේ (17) ඉන්දිය මහකොමසාරිස්තුමාගේ නිල නිවසේදී සිදුවිය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත නීල හරිත රටක් බිහි කිරීමේ වැඩසටහන සනිටුහන් කරමින් මෙහිදී උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් ඉන්දීය මහ කොමසාරිස්වරයා වෙත නා පැළයක් පිළිගන්වන ලදී.

ජනාධිපතිවරයා විසින් විශේෂයෙන් උතුරු පළාත සඳහා සිදුකරන සංවර්ධන වැඩකටයුතු සහ දකුණු පළාතේ සිදු කරන සංවර්ධන වැඩකටයුතු සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ඉදිරියේදීත් තම රජය විසින් ලබාදෙන බව මහ කොමසාරිස්වරයා පවසා ඇත.

තවත් විශේෂ සංවර්ධන ව්‍යපෘතීන් කිහිපයක් ආරම්භ කිරීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරුණ අතර එම කටයුතු ක්‍රියාත්මක කිරීමට සහයෝගය පල කරන බව ඉන්දීය මහකොමසාරිස් තරංජිත්සින් සන්දු මහතා විසින් ප්‍රකාශ කළේය.

එසේම මේවන විටත් ඉන්දීය රජය විසින් උතුරු පළාත සංවර්ධනය සඳහා ලබා දී ඇති සහයෝගය සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා විසින් විශේෂ ස්තූතියක්ද පිරිනමන ලදී.

Read more

Local News