මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනයට අන්තර් පාලක මණ්ඩලයක් පත් කෙරේ

Share

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය පිළිබඳ අන්තර් පාලක මණ්ඩලයක් පත් කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.

මත්ද්‍රව්‍යවලට එරෙහි නීති රිති හා වැටලීම් ශක්තිමත් කරමින් මත්ද්‍රව්‍ය මර්ධනයට ගෙන යන වැඩපිළිවෙළ සේම ඊට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ විධිමත් වැඩපිළිවෙළක් පිළිබඳව ද ජනාධිපතිතුමාගේ අවධානය යොමුව තිබෙන අතර ඒ අනුව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සඳහා අධිකාරියක් පිහිටුවීමට ජනාධිපතිතුමා පසුගියදා කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල එකඟතාවය පළ විය.

එම අධිකාරිය නීත්‍යානුකූල ව ස්ථාපනය කෙරෙන තුරු නොසිට අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් මෙම අන්තර් පාලක මණ්ඩලය පත් කිරීමට ඊයේ(20) ජනාධිපතිතුමා පියවර ගත්තේ ය.

පූජ්‍ය කුප්පියාවත්තේ බෝධානන්ද ස්වාමින්වහන්සේ, විශ‍්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිරිසේන හේරත් මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි, විශේෂඥ මනෝ වෛද්‍ය ජයමාල් ද සිල්වා, විශේෂඥ මනෝ වෛද්‍ය ධනුජ මහේෂ්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රමණී පෙරේරා, හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණි ජයසිංහ, හිටපු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ශාන්ති නවුකරාසන් යන මහත් මහත්මින් ඇතුළු කණ්ඩායමක් එහි සාමාජිකයන් ලෙස කටයුතු කරති.

එම සාමාජිකයන් ඊයේ ජනාධිපති කාර්යාලයේ දී හමු වූ ජනාධිපතිතුමා විධිමත් සංවිධාන ව්‍යුහයකින් යුතුව මෙම මණ්ඩලයේ කටයුතු පවත්වාගෙන යාමේ වැදගත්කම පෙන්වා දුන්නේ ය.

එමෙන්ම නවීන තාක්ෂණය සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනයේ දී ලොව දියුණු රටවල් අනුගමනය කරන ක‍්‍රමවේදයන් අධ්‍යයනය කරමින් අදාළ කටයුතු පවත්වාගෙන යාමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය. උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් එහි නියාමන ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමේ හැකියාව ද පැහැදිළි කළේය.

මෙම අධිකාරිය හරහා ඉදිරියේ දී ජනාධිපති කාර්යාලය, සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය පොලිසිය ඇතුළු අදාළ ආයතන එක්ව වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමට නියමිතය.

මණ්ඩලයේ සංවිධාන ව්‍යුහය පිළිබඳ නිර්දේශ ඉදිරි සතිය තුළ තමා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නේ නම් වඩා සුදුසු බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ අධිකාරිය කඩිනමින් ස්ථාපනය කිරීමට නියමිත අතර මෙවැනි අධිකාරියක් ශ‍්‍රී ලංකාව තුළ ස්ථාපනය කිරීමට පියවර ගැනෙන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

මෙහිදී ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ මත්ද්‍රව්‍යවලට එරෙහිව ඉදිරියේ දී දැඩි නීති රීති කි‍්‍රයාත්මක කිරීමට අපේක්ෂා කරන අතර, ඊට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සඳහා රජය වැඩි අවධානයක් යොමු කරමින් කටයුතු සිදුකරන බවයි.

Read more

Local News