සෙනරත්ගේ නඩුව ලබන මසට කල් යයි

Share

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව අද(26) කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගනු ලැබීය.

මෙම නඩුව අද සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.

එහිදී මෙම නඩුවේ ඉදිරිපත් වූ සාක්ෂිවලින් විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත්කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති හෙයින් විත්තිවාචකය නොකැඳවාම ඔවුන්ව නිදහස් කරන මෙන් විත්තියේ නීතිඥවරුන් විසින් ඉදිරිපත් කරන කරුණු දැක්වීම ඊයේ(25) දින අවසන් කර සිදුකෙරුණි.

අද දින ඊට ප්‍රතිචාර දක්වමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවේ පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ සාක්ෂිවලින් බැලූ බැල්මට නඩු නිමිත්තක් ස්ථාපිත වී ඇති බවයි.

පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ සාක්ෂි කිසිදු අවස්ථාවක විත්තිය විසින් අභියෝගයට ලක් නොකළ බව සඳහන් කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඒ තුළින් කැපී පෙනෙන නඩු නිමිත්තක් තිබෙන බව ස්ථාපිත වී ඇතැයි ද කියා සිටියේය.

මේ හේතුවෙන් විත්තිවාචකය නොකැඳවාම විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන මෙන් විත්තිය විසින් කරනු ලබන ඉල්ලීම පදනම් විරහිත බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර සිටියේය‍.

අනතුරුව නඩු විභාගය නැවත ලබන 11 වනදා කැඳවීමට නියම කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එදියට මෙම ඉල්ලීමට අදාළ ලිඛිත දේශන ඉදිරිපත් කරන මෙන් ද පාර්ශවකරුවන්ට නියම කළේය.

2014 වසරේ පෙබරවාරි මස පළ වනදා සිට 2015 වසරේ ජනවාරි මස 20 වනදා දක්වා කාලසීමාව තුළ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් හෙලන්කො හොටෙල් ඇන්ඩ් ස්පා නමැති සමාගමේ යෙදවීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පොදු දේපොළ පනත යටතේ ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස පියදාස කුඩාබාලගේ, නීල් බණ්ඩාර හපුහින්න සහ ලසන්ත බණ්ඩාර යන අය නම් කර තිබේ.

Read more

Local News