වසන්ත කරන්නාගොඩගේ මුලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම 7 වනදා

Share

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් රහස් පොලිසිය වෙත නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලිිම ලබන 07 වැනිදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද(28) අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ මුර්දු ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ පෞද්ගලික හේතුවක් මත තමන් මෙම නඩුවට සහභාගි වීමට අකමැති බවයි.

ඒ අනුව පෙත්සම සලකා බැලීම මාර්තු මස 7 වනදා දක්වා කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණයට දන්වා සිටියේ කරන්නාගොඩ මහතා සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ කටයුතු අවසන් කර ඇති බවත් ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීම සඳහා සූදානම් කර ඇති බවයි.

පෙත්සම්කාර පාර්ශවයෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින් චෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් තමන්ට ගැටලුවක් නොමැති වුවද අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කිරීම අවශ්‍ය බවයි අධිකරණයට දන්වා සිටියේ.

මෙහිදී අගවිනිසුරු නලින් පෙරේරා මහතා අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතාගෙන් විමසා සිටියේ පෙත්සම්කරුව අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් කිසියම් ප්‍රතිඥාවක් ලබා දිය හැකිද යන්න පිළිබඳව.

ඊට ප්‍රතිචාර දක්වමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ මෙම අවස්ථාවේදී එවැනි ප්‍රතිඥාවක් ලබාදීම අපහසු බවයි.

ඒ අනුව පෙත්සම සලකා බැලීම ලබන 7 වනදාට කල් තැබුණි.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා, රහස් පොලිසියේ සමූහ මංකොල්ල අංශයේ ස්ථානාධිපතිවරයා සහ නීතිපතිවරයා නම් කර තිබේ.

කරන්නාගොඩ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත සඳහන් කර සිටින්නේ ඉකුත් රජය සමයේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් පිරිසක් අතුරුදන් වීමේ සිද්ධියේ සාක්ෂිකරුවෙකුට තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ට එරෙහිව රහස් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

ඊට අමතරව හිටපු නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා මහතා විසින් පොලිසියට ලබාදී ඇති කට උත්තරයක් පදනම් කරගෙන දැන් තමා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව සඳහන් කර ඇති පෙත්සම්කාර කරණ්නාගොඩ මහතා මීට අදාළව තමන් අත් අඩංගුවට ගැනීමේ අවදානමක් මතුව තිබෙන බවයි කියා සිටින්නේ.

මෙම පරීක්ෂණවල කිසිදු සාධාරණ බවක් හෝ පදනමක් නොමැති බවත් එබැවින් තමන් අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කර ලෙසත් කරන්නාගොඩ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Read more

Local News