ඇවන්ගාඩ් සභාපතිගේ නඩුව මැයි 21 දාට කල්යයි

Share

රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් දීම සහ ලබාගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ඇවන්ගාඩ් මෙරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති සහ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව මැයි මස 21 දක්වා තැබීමට කොළඹ මහාධිකරණය  නියම කළේය.

මෙම නඩුව අද928) කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පැමිණිල්ල මෙහෙයවන ජේෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැත්වෙන නඩුවට සහභාගි වන බැවින් මෙම නඩු විභාගය කල් තබන රජයේ නීතිඥවරයා ඉල්ලා සිටියේය.

ඒ අනුව නඩු විභාගය මැයි මස 21 වනදා දක්වා කල් දැමීමට අධිකරණය නියම කළේය.

ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු ඉටුකර ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් ලබා දුන් බවට ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතා වෙත අල්ලස් කොමිසම මෙම නඩුවේ චෝදනා එල්ල කර තිබේ.

එම ලක්ෂ 355 ක මුදල අල්ලස් වශයෙන් ලබා ගැනීම තුළින් රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ද අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇති බව තවත් චෝදනාවක් ගොනු කරමින් අල්ලස් කොමිසම කියා සිටියේ ය.

Read more

Local News