ගෝඨාගේ පෙත්සමට අදාළ තීන්දුව ලබා දීම ජුනි මසට කල්යයි

Share

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ජූනි මස 14 වනදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියම කළේය.

අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක විභාගය අවසන් කිරීමෙන් අනතුරුවයි විනිසුරු මඩුල්ල මෙම තහනම් නියෝගය දීර්ඝ කිරීම සිදු කළේ.

2010 වසරේ සිට 2014 වසර දක්වා වූ කාලසීමාව තුළ avan garde maritime services සමාගමට ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම නඩුව පවරා තිබේ.

එම නඩුව ගොනුකර ඇති ආකාරය නීති විරෝධී යැයි පවසමින් සිය නීතිඥවරු මතුකළ මූලික විරෝධතාවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් ප්‍රතික්ෂේප කළ අතර ඊට එරෙහිව තමන් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම  කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ බව ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සමේ සඳහන් කර ඇත.

එබැවින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය සහ කොළඹ මහාධිකරණය දුන් නියෝග නීති විරෝධී යැයි තීන්දු කොට තමන්ව සියලු චෝදනා වලින් නිදොස්කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයෙන් අයැද සිටී.

මෙම පෙත්සමට අදාළ විභාගය අද දින අවසන් කෙරුණු අතර එහි තීන්දුව ප්‍රකාශ කිරීම ලබන ජුනි මස 14 වනදා දක්වා කල් තබන බව අභියාචනාධිකරණය නිවේදනය කළේය.

එතෙක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන අදාළ නඩු විභාගය වළක්වමින් පනවා තිබෙන තහනම් නියෝගය ඉදිරි දින දක්වා දීර්ඝ කිරීමට ද අභියාචනාධිකරණය නියෝග කළේය.

Read more

Local News