කොළඹ ෂැංග්‍රිලා සුපිරි තරු හෝටලය 17 දා විවෘත වෙයි

Share

ලෝ පතළ ෂැංග්‍රිලා හෝටල් ජාලයේ නවතම සුපිරි තරු හෝටලය කොළඹ ගාලුමුවදොර ඉදිවූ අතර එය මේ මස 17 වැනිදා විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් වෙයි.

ෂැංග්‍රිලා හෝටල් සමූහයේ ශ්‍රීලංකාවේ පළමුවැන්නා 2016 ජනවාරි මස හම්බන්තොටදී විවෘත කෙරිණි. දෙවැන්න කොළඹ ගාලුමුවදොරදී ස්ථාපිත කෙරෙන්නේ එම හෝටල් ජාලයේ 101 වැනි හෝටලය වශයෙනි. ෂැංග්‍රිලා පළමු හෝටලය 1971 වසරේ සිංගප්පූරුවේදී බිහි වූ අතර ෂැංග්‍රිලා හෝටල් ජාලයම හොංකොං සමාගමකින් උපත ලබයි.

හම්බන්තොට ෂැංග්‍රිලා ඇ.ඩොලර් මිලියන 100ක ආයෝජනයක් වූ අතර කොළඹ ෂැංග්‍රිලා ඇමරිකා ඩොලර් මිලියන 500ක ආයෝජනයකි. කොළඹ ෂැංග්‍රිලා අදියර තුනක ව්‍යාපෘතියකි. එහි ප්‍රථම අදියර ලෙස විවෘත වන්නේ තරු පහේ හෝටලයයි. මහල් 32ක කාමර 540කින් සමන්විත මේ හෝටලයේ කාර්ය මණ්ඩලය 750ක ගෙන් සමන්විත වන බව සමාගමේ උප සභාපති සහ සාමාන්‍යාධිකාරී ති‍මෝති රයිට් මහතා කියයි.

මෙහි දෙවැනි අදියර ෂැංග්‍රිලා නිවාස සංකීර්ණයයි. එහි ඉදිකිරීම්ද කඩිමුඩියේ සිදු කෙරේ. තෙවැනි අ දියර වන වෙළෙඳ සංකීර්ණය තට්ටු 7කි. 2019 දී නිම කිරීමට අපේක්ෂිත මේ වෙළෙඳ සංකීර්ණයේ ලෝ පතළ වෙළෙඳ සන්නාම සහිත භාණ්ඩ අලෙවිසල්, ක්‍රීඩාගාර, රථගාල්වලින් සමන්විත ඕනෑම භාණ්ඩයක් මිලදී ගත හැකි වන පරිදි ජගත් මට්ටමේ වෙළෙඳ සංකීර්ණයක් ලෙස බිහි කිරීමට සැලසුම් කර ඇත්තේ විදේශයෙන් ශ්‍රී ලංකාවට ඇදී එන සංචාරකයන්ට මෙරටේදීම භාණ්ඩ මිලට ගැනීමට අවස්ථාව උපරිම තලයෙන් ලබාදීමට බව සාමාන්‍යාධිකාරී රයිට් මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

හෝටලයේ ඉහළ ප්‍රමිතිය ගුණාත්මක බව ස්ථාවර කිරීම සඳහා සිය කාර්ය මණ්ඩලයට මෙරට පමණක් නොව විදෙස් පුහුණුව ලබාදීමද සැලැසුම් කර ඇති බවද වැඩිදුරටත් කියා සිටී. මේ හරහා ශ්‍රී ලාංකික ආගන්තුක සත්කාරයේ සුවිශේෂත්වය සිය අමුත්තන්ට නොඅඩුවම ලබාදෙමින් ශ්‍රී ලාංකීය ආර්ථිකයේ ප්‍රවර්ධනයට හැකි සෑම අයුරින්ම ලබාදීම ෂැංග්‍රිලා හෝටල් ශ්‍රී ලංකාවේ ඇරැඹීමේ අපේක්ෂාව බවද අවධාරණය කරයි.

Read more

Local News